මරණය වංචා කළ ඉන්දීය ක්‍රියාධරයා

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 29 සිකුරාදා - 17:27 GMT

චන්ද්‍ර මෝහන් ශර්මා

දිල්ලි අගනුවරදී මෝටර් රථයක් ගිනි ගැනීමෙන් මරුමුවට පත්වූ බව විශ්වාස කළ පුද්ගලයෙක් දකුණු ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

චන්ද්‍ර මෝහන් ශර්මා නමැති සැකකරු වෙනත් කාන්තාවක් සමග දිවි ගෙවීම සඳහා බොරුවට මිය ගිය බව හඟවා බැන්ගලෝර් නුවර සැඟවී සිටියදී සොයා ගත් බවයි, දිල්ලි නුවර පොලිසිය පවසන්නේ.

ගින්නට හසුව දැවී ගිය මෝටර් රථයේ තිබී හමු වූ මළ සිරුර අයත් පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් සැක පිට චන්ද්‍ර මෝහන් ශර්මා දැන් අත්අඩංගුවේ පසු වෙයි.

ඔහු තොරතුරු දැන ගැනීමේ නිදහස වෙනුවෙන් උද්ඝෝෂණය කළ ක්‍රියාධරයෙක් වූ අතර, වංචා දූෂණවලට එරෙහි 'ආම් ආද්මි' පක්ෂයේ සාමාජිකයෙක්ද විය.

'ඝාතනය කරලා'

සම්පුර්ණයෙන් දැවී ගිය චන්ද්‍ර මෝහන් ශර්මා ගේ මෝටර් රථයේ තිබී ඔහුගේ යැයි සැක කෙරෙන මළ සිරුර පසුගිය මැයි මස පළ වෙනිදා පොලිසිය විසින් සොයා ගත් අතර ඔහුගේ ඥාතීන් සිරුර හඳුනා ගනිමින් පැවසුවේ ඔහු ඝාතනය කොට ඇත්තේ වංචා දූෂණ හෙළි කිරීම නිසා බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා ඔහුව බැන්ගලෝර් නුවර දී පොලිස් අත්අඩංගුවට පත්වුණේ වෙනත් පුද්ගලයෙකුගේ අනන්‍යතාව භාවිතා කරමින් මෝටර් රථ කම්හලක සේවය කරමින් සිටියදී.

තිස් අට හැවිරිදි මෙම පුද්ගලයා පාරේ ජීවත් වන දිළින්දකු ඝාතනය කොට තම මෝටර් රථය තුලට දමා ගිනි තබා තමන් මිය ගොස් ඇති බව ඇඟවීමට තම ඥාතීයෙකුගේද සහය ලබා ගෙන ඇති බව පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

පොලිසිය කියා සිටියේ ඔහු අත් අඩංගුවට පත් වන අවස්ථාවේ දී තමන්ගේ හිස බූ ගා පෙනුම වෙනස් කර ගෙන වෙනත් අනන්‍යතාවයක් යටතේ පෙනී සිටීමට උත්සාහ ගත් බවයි.

චන්ද්‍ර මෝහන් ශර්මා තමන්ට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.