ඉන්දියාවේ සෑම පවුලකටම බැංකු ගිණුමක් - මෝඩි

  • 28 අගෝස්තු 2014

ඉන්දියාවේ සෑම පවුලකටම බැංකු ගිණුමක් ආරම්භ කිරීමේ වැඩ පිළිවෙළක් අගමැති නරේන්ද්‍ර මෝඩි විසින් ඉදිරිපත් කොට තිබේ.

එහි පරමාර්ථය ඉන්දියාවේ දිළිඳු පවුල් වලට මූල්‍යමය වශයෙන් ගොඩනැගීමට උදව් කිරීම බවයි අගමැති වරයා පවසන්නේ.

ඉන්දියාවේ ජනගහණයෙන් සියයට හතළිහකට පමණ බැංකු භාවිතය සඳහා යම් ඉඩකඩක් ලැබුනත් දිළිඳු ජනතාවට පොලීකරුවන්ගෙන් ඉතා ඉහළ පොලී අගයක් යටතේ මුදල් ලබා ගැනීමට සිදුවී තිබේ.

අගමැති නරේන්ද්‍ර මෝඩි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රාන්ත සහ පෞද්ගලික බැංකු වලින් සහය ඉල්ලා ඇත.

තමන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට ලියවිල්ලක් පවා නොමැති දිළිඳු ජනතාවට බැංකු සේවය හඳුන්වා දීම විශාල අභියෝගයක් වනු ඇති බවයි වාර්තා කරුවන් පවසන්නේ.

පසුගිය අගෝස්තු මස පහළොස් වෙනිදා නිදහස් දින උත්සවය අමතමින් අගමැති නරේන්ද්‍ර මෝඩි කියා සිටියේ ඉන්දියාවේ මිලියනයකට අධික සෑම පවුලකටම ජංගම දුරකතනයක් තිබුනත් බැංකු ගිණුමක් නොමැති බවත්, මෙම සංස්කෘතිය වෙනස් කළ යුතු බවයි.

රුපියල් ලක්ෂයක රක්ෂණයක්

දිල්ලි නුවර තම බැංකු ගිණුම් ඇරඹීමට පෙළ ගැසෙමින්

පවුල් මිලියන හැත්තෑ පහකට බැංකු පහසුකම් ලබා දීම සහ පවුලක අවම වශයෙන් සාමාජිකයන් දෙදෙනෙකුට බැංකු ගිණුම් ආරම්භ කිරීම නරේන්ද්‍ර මෝදඩිගේ පරිපාලනයේ ඉලක්කය වී තිබේ.

මෙම වැඩසටහන යටතේ ආරම්භ කෙරෙන බැංකු ගිණුම් හිමියන්ට හදිසි අනතුරු සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂයක් දක්වා වූ රක්ෂණයක්, හර කාඩ් පතක් (ඩෙබිට් කාඩ් පතක්) ඉන්දියානු රුපියල් පන්දහසක් දක්වා ණය පහසුකම් ලබා දීමට ද තීරණය කොට තිබේ.

වාර්තාකරුවන් පවසන්නේ බැංකු සේවය හඳුන්වා දීම තුලින් දිළිඳු පවුල් වලට ලබා දෙන සුබසාධන මුදල් ගිණුම් වල තැන්පත් කිරීමේ හැකියාව රජයට ලැබෙන අතර එමගින් වංචා දූෂණ අවම කර ගත හැකි බවයි.

ලෝක බැංකුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තා වලට අනුව රජයෙන් ලබා දෙන මුදල් බැංකු ගිණුම් හරහා තැන්පත් කිරීමේ පහසුකම් ඇත්තේ ඉන්දියානුවන්ගෙන් සීයට හතරක ප්‍රතිශතයකට පමණි.

ඉන්දියානු මධ්‍යම බැංකුවේ අනුමතියකින් හෝ පාලනයකින් හෝ තොරව ඉහල පොලියක් යටතේ ණය ලබා දෙන ආයතන සහ පුද්ගලයන්ගේ මැදිහත් වීම අවම කිරීමටත් මෙම වැඩ පිළිවල රුකුලක් වනු ඇති බවයි පැවසෙන්නේ.