කාන්තා මළ සිරුරක් සූට්කේසයක

  • 14 අගෝස්තු 2014
කාන්තාව ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට පත්වූ පෙම්වතා

ඇමරිකානු ජාතික කාන්තාවකගේ මළ සිරුරක් සූට්කේසයක තිබී සොයා ගෙන ඇති බව ඉන්දුනීසියාවේ බාලි දූපතෙන් වාර්තා වේ.

මෙම ඇමරිකානු කාන්තාව ඝාතනය කොට සුට්කෙසයක අසුරා ඇත්තේ කාන්තාවගේ දියණිය සහ ඇයගේ පෙම්වතා බවයි සැක කෙරෙන්නේ.

සුඛෝපභෝගී හෝටලයක් ඉදිරිපිට නවතා තිබූ කුලී රථයක පිටුපස බඩු අසුරණයේ තිබී එම මළ සිරුර දමා තිබූ සූට්කේසය බාලි පොලිසිය විසින් සොයා ගෙන ඇත්තේ කුලී රථයේ රියදුරු කළ පැමිණිල්ලකට පසුවයි.

දහනම හැවිරිදි වියේ පසු වන දියණිය සහ විසි එක් වන වියේ පසු වන ඇගේ පෙම්වතා මේ වන විට සැක පිට අත් අඩංගුවට ගෙන තිබේ.

රියදුරු පොලිසියට පවසා ඇත්තේ හෝටලයෙන් පිටව යාමට අවශ්‍ය බව පවසමින් අදාළ සුට්කෙසය කුලී රථයට දමා නැවත හෝටලයට ගිය දියණිය සහ ඇගේ පෙම්වතා නැවත නොපැමිණි බවයි.

සැක කරුවන් දෙදෙනා වෙනත් හෝටලයක නවාතැන් ගෙන සිටියදී අත්අඩංගුවට ගත් බවයි බාලි පොලිසිය පවසන්නේ.

ඝාතනයට ලක්වූ හැට දෙවන වියේ පසු වූ කාන්තාවගේ මළ සිරුර මේ වන විට වැඩි දුර පරීක්ෂණ සඳහා යොමු කර ඇත.