කෘමිනාශක සහිත ඉන්දීය තේ?

  • 12 අගෝස්තු 2014
නිෂ්පාදන ක්‍රියාදාමයේදී කෘමිනාශක ඉවත් වෙනවා -තේ නිෂ්පාදකයෝ

ඉන්දීය වෙළඳපොළේ විකිණෙන තේ කොළ තොග බොහොමයක සෞඛ්‍යයට අහිතකර කෘමිනාශක ද්‍රව්‍ය අඩංගු බව ග්‍රීන්පීස් (greenpeace) පරිසර සංවිධානය පවසයි.

ඉන් සමහරක් කෘමිනාශක තේ වගාවට යොදා ගැනීම සඳහා අනුමත නොකරන ලද ඒවා බවයි ග්‍රීන්පීස් සංවිධානය පවසන්නේ.

කෘමිනාශක අඩංගු තේ පානය කිරීමෙන් ශරීර සෞඛ්‍යයට දීර්ඝ කාලීන අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව ග්‍රීන්පීස් සංවිධානයේ ඉන්දීය ශාඛාවේ නේහා සායිගල් කියා සිටියාය.

'100% ආරක්ෂිතයි'

තේ වගාව සඳහා අනුමත කෘමිනාශක පමණක් භාවිතා කරන බව පවසන දකුණු ඉන්දීය තේ නිෂ්පාදකයන්ගේ සංගමයේ රාධා ක්‍රිෂ්ණන් කියා සිටින්නේ නිෂ්පාදිත තේ සියයට සියයක්ම පානය සඳහා සුදුසු බවයි.

ගසින් නෙළා ගත් තේ දලු පානයට ගැනීමට පෙර නිෂ්පාදන ක්‍රියාදාමයකට යටත් වන බැවින් ඒ වන විට බොහොමයක් කෘමිනාශක ඉවත් වන බව ද රාධා ක්‍රිෂ්ණන් පවසයි.

තේ පාරිභෝගිකයන් බියට පත් කිරීම තම අරමුණ නොවන බව පවසන ග්‍රීන්පීස් සංවිධානය වැඩි දුරටත් කියා සිටින්නේ සෞඛ්‍යයට අහිතකර කෘමිනාශක භාවිතයෙන් තේ ගොවියන් ඈත් කිරීමට කටයුතු කරන බවයි.