ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉන්දියාව කැලඹුව විලාසිතා ඡායා රූප

7 අගෝස්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 13:39 GMT

ඉන්දියාවේ කාන්තා ලිංගික හිංසනය ප්‍රතිනිර්මාණය කරන විලාසිතා ඡායා රූප දැක්මක් වෙබ් අඩෙවියක පළ වීමෙන් ඉන්දීය සමාජය කැළඹෙයි.

රාජ් ෂෙට්ටි නමැති මෙම ඉන්දියානු ඡායා රූප ශිල්පියා විසින් ගෙන ඇති එම ඡායා රූප වලින් දැක්වෙන්නේ කාන්තාවක් බස් රියකදී අතවරයට පත් වීමට එරෙහිව බස් රියේ සිටින පුද්ගලයන් සමග අරගලයක යෙදෙන ආකාරයයි.

ඉන්දියාව තුළ දිගින් දිගටම සිදු වන දූෂණ සහ ඝාතන සම්බන්ධයෙන් සමාජය කැලඹී ඇති මොහොතක එම තේමාවෙන් විලාසිතා ඡායා රූප වෙබ් අඩවියක පළ කිරීම සම්බන්ධයෙන් ඉන්දියානු ජනතාව කෝපයට පත් වී තිබේ.

අමිහිරි අත්දැකීම

‘ට්විටර්’ අඩවියේ සහ ‘ෆේස්බුක්’ අඩවියේ ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් තම අදහස් දක්වමින් කියා සිටියේ එම ඡායා රූප පිළිකුල් සහගත වන අතර එමගින් දූෂණ සහ ඝාතන පිළිබඳ බිහිසුණු ආවර්ජනයක් සිදු කරන බවයි.

ඡායාරූප ශිල්පී රාජ් ෂෙට්ටි කියා සිටියේ වර්තමානයේ ඉන්දියානු සමාජය තුළ කාන්තාවන් මුහුණ දෙන තත්වය පිළිබිඹු කිරීම තමන්ගේ අරමුණ වූ බවත් එය දූෂණය ප්‍රතිනිර්මාණය කිරීමක් නොවන බවත්ය.

‘ෆේස්බුක්’ අඩවියේ සහ ‘ට්විටර්’ අඩවියේ පළ කෙරුණ දැඩි විරෝධය හේතුවෙන් මේ වන විට ආන්දෝලනයට පත් වූ ඡායා රූප අදාළ වෙබ් අඩවියෙන් ඉවත් කර තිබේ.

කායික චිකිත්සාව ඉගෙන ගත් විසි තුන් වියැති ඉන්දියානු ශිෂ්‍යාවක් බස් රියක ගමන් ගන්නා අතර පැහැර ගෙන ගොස් දූෂණය කොට ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු ඉන්දියාවේ විශාල විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක කෙරුණු අතර එමගින් දූෂණ අපරාධ වැළැක්වීමට නව නීති හඳුන්වා දෙන මෙන් රජයට බල කෙරිණ.

මෙම ඡායා රූප විවේචනය කරන්නන්ගේ අදහස වී ඇත්තේ මෙම ශෝක ජනක සිදුවීම විලාසිතා ප්‍රචලිත කිරීමට යොදා ගැනීම ඉතා පහත් සහ අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවයි.

නමුත් ඡායාරූප ශිල්පී රාජ් ෂෙට්ටි මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එම සිදුවීම මෙම ඡායා රූප කරණයට තේමාව කර නොගත් බවයි.

තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තම අභිලාෂය වුයේ සමාජයේ දුගී හෝ පොහොසත් ඕනෑම කාන්තාවකට අත් විය හැකි ඉරණමක් වන කාන්තා අතවර සමාජයේ ආන්දෝලනයට ලක් වූ මෙවැනි අවස්ථාවක ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වන බවයි.