ගාසා; බ්‍රිතාන්‍ය විදේශ ඇමති ආණ්ඩුවෙන් ඉවතට

  • 5 අගෝස්තු 2014
සයීඩා වාසි බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලයට එක් වූ ප්‍රථම මුස්ලිම් කාන්තාවයි

ගාසා තීරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ස්ථාවරයට විරෝධය පළ කරමින් බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු භාර ඇමතිවරියක් වන සයීඩා වාර්සි සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි.

බ්‍රිතාන්‍ය ආණ්ඩුව දරන ස්ථාවරය සදාචාරාත්මකව සාධාරණීකරණය කළ නොහැකි බවයි අමාත්‍යවරිය පවසන්නේ.

ආණ්ඩුවේ වර්තමාන ප්‍රතිපත්තිය බ්‍රිතාන්‍යයේ කීර්ති නාමයට හානි සිදු කරන්නේ යැයි තමා විශ්වාස කරන බව අමාත්‍යවරිය අගමැති ඩේවිඩ් කැමරන් වෙත යැවූ ලිපියේ සඳහන්.

නමුත් කනගාටුවෙන් වුවත් අමාත්‍යධුරය හැර යන බවයි අමාත්‍යවරිය පවසා ඇත්තේ.

මුස්ලිම් කාන්තාව

සයීඩා වාර්සි, බ්‍රිතාන්‍ය දේශපාලන ඉතිහාසයේ එරට කැබිනට් මණ්ඩලයට එක් වූ ප්‍රථම මුස්ලිම් කාන්තාවයි.

සයීඩා අමාත්‍යවරියගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අගමැති කැමරන් කනගාටුව ප්‍රකාශ කර තිබේ.

ගාසා තීරයේ පවතින තත්වය කිසි සේත් අනුමත කළ නොහැකි අතර දෙපාර්ශවය මැදිහත් වී වහාම කොන්දේසි විරහිත සටන් විරාමයක් කරා යා යුතු යැයි තම ආණ්ඩුව නිතර කියා සිටි බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා වැඩි දුරටත් පවසයි.