සටන් විරාම යෝජනා මැද ඊශ්‍රායල් ප්‍රහාර

  • 25 ජූලි 2014

ඊශ්‍රායලය, ඊයේ විසිහතර වැනිදා රාත්‍රිය පුරාම ගාසා තීරයට ෂෙල් සහ ගුවන් ප්‍රහාර එල්ල කරන ලද බවයි මැදපෙරදිගින් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

මානුෂීය කරුණු සැලකිල්ලට ගනිමින් සටන් විරාමයක් සඳහා ඉදිරිපත් වන ඇමෙරිකානු නව යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊශ්‍රායල් කැබිනට් ආරක්ෂක මණ්ඩලය රැස් වීමට නියමිතව තිබියදීයි එම ප්‍රහාර එල්ල කර ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ බලධාරියෙක් වන බොබ් ටර්නර් බීබීසීයට ප්‍රකාශ කළේ, ගාසාහි එක් ලක්ෂ පනස් දහසක් පමණ වූ ජනතාව දැනට ජීවත් වන්නේ එක්සත් ජාතීන්ගේ පාසල් ගොඩනැගිලිවල බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා පාසලකට එල්ල වූ ෂෙල් ප්‍රහාරයකින් පුද්ගලයන් දහතුන් දෙනෙකු මරණයට පත් වීමත් සමග බොබ් ටර්නර් පාර්ශව දෙකෙන්ම අවධාරනයෙන් ඉල්ලා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මධ්‍යස්ථ භාවයට ගරු කරන ලෙසයි.

දැනට ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් පලස්තීන ජාතිකයින් අටසීයක්, ඊශ්‍රායල් සොල්දාදුවන් තිස් දෙදෙනකු සහ සාමාන්‍ය වැසියන් තුන් දෙනකු මරණයට පත්ව ඇත.

පලස්තීන නායකයින් අද විසිපස් වනදා, සිකුරාදා කෝපය පළ කිරීමේ දිනයක් ලෙස නම් කර තිබේ.