හය හැවිරිදි දැරිය දූෂණය: උපදේශක අත් අඩංගුවේ

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 21 සඳුදා - 11:52 GMT

හය හැවිරිදි පාසල් දැරියක් දූෂණය කරනු ලැබීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැක පිට එම දැරිය ඉගනුම ලැබූ පාසලේ සේවය කළ පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය පවසයි.

සැකකරු වෘත්තියෙන් හිම ක්‍රීඩා උපදේශකයකු වන බවයි පොලිසිය පවසන්නේ.

ඔහුගේ පරිගණකය තුල තිබී ළමුන්ගේ අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ දර්ශන සොයා ගෙන තිබේ.

බැංගලෝර්හි පෞද්ගලික පාසලක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකු විසින් දැරිය දූෂණය කරනු ලැබ ඇති බවට කෙරෙන චෝදනා සැලවීමත් සමග අනෙකුත් දරුවන්ගේ දෙමව්පියෝ සිය දරුවන් එම පාසලට එවීමෙන් වැළකී සිටියහ.

දැරිය දූෂණයට ලක්ව තිබෙන්නේ ජුලි මස දෙවනදා වන නමුත් ඇයගේ දෙමව්පියන්ට එය දැන ගැනීමට ලැබී තිබෙන්නේ ඉන් දින කිහිපයකට පසුවයි.

බඩේ වේදනාවක්

ඒ දැරිය තමාට බඩේ වේදනාවක් ඇති බව පැමිණිලි කිරීමෙන් පසු ඇය වෛද්‍යවරයෙක් වෙත රැගෙන යාමෙන් අනතුරුවයි.

‘අපිට ජංගම දුරකතනයක් සහ අතේ රැගෙන යා හැකි පරිගණකයක් හමු වුණා. පාසල් දරුවන් දූෂණය කෙරෙන ආකාරය සහිත අන්තර්ජාලයෙන් බාගත කර ගත් අසභ්‍ය වීඩියෝ දර්ශන පරිගණකයේ තිබුණා’ යනුවෙන් එම ප්‍රදේශය භාර පොලිස් අධිකාරීවරයා මාධ්‍ය අමතමින් පැවසුවේය.

‘මේ සැකකරු සතුව තවත් මෙවැනිම උපකරණ තියනවා කියලා ඔහු අපට කිව්වා. ඒක ස්ථීරවම දැන ගැනීම අවශ්‍යයි’ යනුවෙන් පැවසූ පොලිස් අධිකාරී රාඝාවේන්ද්‍ර අවුරාද්කාර් කියා සිටියේ දූෂණය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කෙරෙමින් තිබෙන බවයි.

විරෝධය

දූෂණ විරෝධී සටන් පාඨ හඬ නගන බැංගලෝරයේ තරුණියක්

දූෂණ සිදුවීම සම්බන්ධයෙන් පාසල් පරිපාලනය කටයුතු කළ ආකාරය හමුවේ ඊට විරෝධය පල කරමින් දෙමව්පියන් හා මහජන සංවිධාන සාමාජිකයන් උද්ඝෝෂණයේ යෙදුණු අතර මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූයේ ඉන් දින දෙකකට පසුවයි.

දරුවන්ගේ ආරක්ෂාව සහතික කරන තෙක් තම දරුවන් පාසල වෙත නොයවන බවයි එම පාසලේ ඉගනුම ලබන දරුවන්ගේ මව්පියන් කියා සිටියේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් එම පෞද්ගලික පාසලේ සභාපතිවරයා දැඩි කනගාටුව ප්‍රකාශ කර ඇති අතර පොලිස් පරීක්ෂණ සඳහා පාසලේ සම්පුර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.

වැඩි වීමක්

දෙදහස් දොළහ වසරේ දිල්ලි අගනුවර බස් රථයක් තුල දී කණ්ඩායමක් විසින් සිසුවියක් දූෂණයට ලක් වීමත් සමග ඉන්දියාව තුල සිදු වන ලිංගික බලහත්කාරකම් වල වැඩි වීමක් දක්නට තිබෙන බවයි පැවසෙන්නේ.

එම අපරාධය ඉන්දියාව තුල මහත් කැලඹීමක් ඇති කළ අතර මරණ දඬුවම ඇතුළත්ව දූෂණ නැවැත්වීම සඳහා වූ නීති දැඩි කරන මෙන් ඉන්දීය ආණ්ඩුවට බල කෙරුණි.

ඉන්දීය ජාතික අපරාධ වාර්තා ආයතනයේ දත්තවලට අනුව දෙදහස් දහතුන වසරේ දී සෑම මිනිත්තු විසි එකකට වරක් ලිංගික දූෂණයක් වාර්තා වී තිබේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.