යින්ලක් ෂිනවත් හට රටින් පිටව යාමට අවසර

  • 17 ජූලි 2014

තනතුරෙන් පහ කළ තායිලන්ත අගමැතිනි යින්ලක් ෂිනවත් හට රටින් පිටව යාමට අවසර දී තිබේ.

මීට මාස දෙකකට පෙරදී දියත් කළ යුද හමුදා කුමන්ත්‍රණයට පෙර ඇය තනතුරෙන් ඉවත් කරන ලදී.

තම නියෝගයන් උල්ලංඝනය කොට නැති නිසා යින්ලක් ෂිනවටත් හිටපු අගමැතිනියට පිට රට යාමට අවසර දුන් බවයි තායිලන්ත හමුදා පාලකයන් පැවසුවේ.

තම සොහොයුරු තක්සින් ෂිනවටත්ගේ උපන්දින සාදයට සහභාගිවීමට ඇය පැරිස් නුවරට යාමට සූදානම් වන බවටයි පැවසෙන්නේ.

තායිලන්තයේ තවත් හිටපු අගමැතිවරයකු වූ තක්සින් ෂිනවත් දැන් විදේශ ගතව ජීවත් වෙයි.

යුද හමුදාව රාජ්‍ය බලය අල්ලා ගැනීමෙන් පසු දේශපාලනඥයන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්,සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූහ.

තනතුරෙන් පහ කළ යින්ලක් ෂිනවත් ද ටික දිනක් අත්අඩංගුවේ පසු විය.