ඉන්දියාවේ සංස්කෘත සතියක්

  • 17 ජූලි 2014

ඉන්දියාවේ පාසල් වල සංස්කෘත සතියක් නම් කිරීමට කරන ලද නියෝගය ඇතැම් ආගමික දේශපාලකයන් කෝප ගැන්වීමට හේතු වී තිබේ.

කෝපයට පත් දේශපාලකයෙකු කියා සිටියේ එක් භාෂාවකට මුල් තැන ලබා දීමෙන් ජාතික ඒකාග්‍රතාවට හානි විය හැකි බවයි.

සංස්කෘත ඉතා පැරණි ඉන්දියානු භාෂාවක් වන අතර බොහෝ පාසල්වල එය අතිරේක විෂයයක් ලෙස උගන්වනු ලැබේ.

කාව්‍ය හා රචනා තරඟ වැනි ක්‍රියාකාරකම් පාසල්වල සංවිධානය කිරීමෙන් ළමුන් තුළ සංස්කෘත භාෂාවට ඇති කැමැත්ත නැවත ඇති කිරීමට පියවර ගන්නා ලෙසයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

නව තරඟ සහ අන්තර්ජාල වැඩසටහන් හඳුන්වා දීම තුලින් සිසුන්ගේ සංස්කෘත දැනුම වර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස ද්විතීය අධ්‍යාපන මධ්‍යම කමිටුවට නියෝගය මගින් උපදෙස් දී තිබේ.

සංස්කෘත ඉන්දියාවේ බොහෝ භාෂා වල මූලාරම්භය ලෙස පිළිගැනේ.

නමුත් තවත් බොහෝ භාෂා අනෙකුත් පැරණි භාෂා වලින් බිඳී ඇති බව කෝපයට පත් දේශපාලකයෝ පවසති.

දක්ෂිණාංශික හින්දු මතවාදය

තමිල්නාඩුවේ දෙමළ ජාතික පක්ෂයේ නායකයෙක් කියා සිටියේ බහුතරයක් භාවිතා නොකරන භාෂාවක් හඳුන්වා දීමෙන් නව රජය දක්ෂිණාංශික හින්දු මතවාදයක් ඇති කිරීමට උත්සාහ දරන බවයි.

නව රජය ප්‍රථමයෙන් හින්දි භාෂාව ඉන්දියාවේ රාජ්‍ය භාෂාව බවට පත් කිරීමට උත්සාහ කිරීම මතවාදයකට තුඩු දෙනු ලැබිණ.

මේ වන විට 'සංස්කෘත සතිය' සම්බන්ධ නියෝගය හේතුවෙන් අපුර්වනාදන් වැනි අධ්‍යාපන විශේෂඥයන්, සංස්කෘත පාසල් තුළ ව්‍යාප්ත කිරීමේ පදනම ගැන ප්‍රශ්න කරයි.

“ඉන්දියාවේ බොහොමයක් පාසල්වල ඉගැන්වීම් සිදු කරන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. සංස්කෘත හෝ අනෙක් විදෙස් භාෂා උගන්වන්නේ අතිරේක විෂයයන් විදිහට. මේ නියෝගය සම්බන්ධයෙන් පාසල් දක්වන්නේ විවිධ ප්‍රතිචාර, සමහරක් පාසල් කියන්නේ නැතිවේගන යන භාෂාවක් පන ගැන්වීමට ගන්න මේ උත්සාහය හොඳයි කියලා” ඔහු ප්‍රකාශ කළේය.