'බොකෝ හරාම්' මඩින්න ශ්‍රී ලංකාවේ උපක්‍රම

  • 14 ජුනි 2014
නයිජීරියාවේ නැගී එන ත්‍රස්තවාදය මැඩලීමේ දී ශ්‍රී ලංකාවේ අත් දැකීම් පිලිබඳ ව දැඩි අවධානයක් යොමු කර තිබේ

නයිජීරියාවේ “බොකෝ හරාම්” ඉස්ලාම් අන්තවාදීන් ට එරෙහිව ගෙනයන සටනේදී යොදාගැනීම පිණිස දෙමළ කොටි කැරලිකරුවන් පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා හමුදාව විසින් භාවිතා කළ උපාය උපක්‍රම අධ්‍යයනය කරමින් සිටින බව නයිජීරියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

නයිජීරියානු හමුදාව මේ වනවිට ශ්‍රී ලංකාවෙන් නයිජීරියාවට ගොස් සිටින නියෝජිත පිරිසක් සමග මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවයි පැවසෙන්නේ.

සමාන තත්වයක්

අබුජා හි ඇති නයිජීරියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ ශ්‍රී ලංකාවෙන් පැමිණි ඉහල මට්ටමේ නියෝජිත පිරිසක් සමග පැවති මුලික වටයේ අදහස් හුවමාරුවෙන් පෙනී යන ආකාරයට ශ්‍රී ලංකාව මුහුණ දුන් තත්වය සහ නයිජීරියාවේ වර්තමාන තත්වය අතර බොහෝ සමානතා ඇති බවයි.

“ශ්‍රී ලංකා හමුදාවෙන් නයිජීරියානු ප්‍රතියෝගීන්ට ත්‍රස්තවාදය මැඩලීමේ සහය” මැයෙන් නයිජීරියානු පෞද්ගලික රුපවාහිනී චැනලයකට අයත් වෙබ් අඩවියක ජුනි මස 12 වෙනිදා පළවූ වාර්තාවකයි මේ බව සඳහන් වන්නේ.

එම වාර්තාවට අනුව ජුනි10 වැනි අඟහරුවාදායි මූලික වටයේ සාකච්ඡා පැවැත්වී ඇත්තේ.

කදිම අවස්ථාවක්

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසුරිය විසින් මෙහෙයවුණු මෙම සාකච්ඡාවට නයිජීරියානු යුද හමුදාපති, නාවික හමුදා ප්‍රධානී, නයිජීරියානු ජාතික ඔත්තු සේවාවේ ප්‍රධානී මෙන්ම වෙනත් ඉහළ මට්ටමේ නිලධාරීන් පිරිසක් සහභාගී වූ බවයි වාර්තාවන්නේ.

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයට මුහුණ දී සිටි යුගයේ රට මුහුණ දුන් තත්වය හා වර්තමානයේ නයිජීරියාව් පවතින තත්වය අතර බොහෝ සමාන කම් ඇති බව පැවසූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකයා සඳහන් කර ඇත්තේ මෙම හමුව තම අත් දැකීම් හුවමාරු කර ගැනීමට කදිම අවස්තාවක් බවයි

සාකච්ඡාව අවසානයේ නයිජීරියානු ආරක්ෂක අංශ ප්‍රධානී එයාර් චීෆ් මාෂල් ඇලෙක්ස් බදෙහ් ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ සහභාගිත්වය පැසසුමට ලක්කර තිබේ.

නයිජීරියාවේ නැගී එන ත්‍රස්තවාදය මැඩලීමේ දී ශ්‍රී ලංකාවේ අත් දැකීම් පිලිබඳ ව දැඩි අවධානයක් යොමු කරන බව සඳහන් කළ ඔහු තම ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් නයිජීරියානු හමුදාව කැපවී සිටින බවයි අවධාරණය කර ඇත්තේ.

යුද විශ්ලේෂක ප්‍රතිචාරය

එහෙත් බීබීසි දෙමළ සේවය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් නයිජීරියානු යුද විශ්ලේෂක ආචාර්ය බාවා අබ්දුල්ලාහි වාසි කියා සිටියේ, ශ්‍රී ලංකාවේ යුද උපාය නයිජීරියාවේ භාවිතයට ගනු ලැබීම අහිතකර තත්වයක් උද්ගත කළ හැකි බවයි.

“මොකද ඔබ දැනගත යුතුයි නයිජීරියාව කියන්නෙ ලෝකයේ වැඩිම කළු ජාතික ජනගහනයක් ඉන්න රට. නයිජීරියාව අප්‍රිකාවේ තියන හුඟක් රටවලට වඩා විශාලත්වයෙනුත් ජනගහනයෙනුත් ඉහලයි. විශාල සාමාන්‍ය වැසියන් ප්‍රමාණයක් විපතට පත් කරන ක්‍රමයක් නයිජීරියාවට හරියන්නෙ නැහැ. ඒකෙන් වෙන්නෙ මුළු ජනතාවම රජයට විරුද්ධ වෙන එකයි.” නයිජීරියානු යුද විශ්ලේෂක ආචාර්ය බාවා අබ්දුල්ලාහි වාසි පෙන්වා දෙයි.

තවදුරටත් අදහස් දැක් වූ ආචාර්ය බාවා අබ්දුල්ලාහි වාසි ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී සිදු වූ දේ ගැන ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රශ්න කරමින් ඇති බවත් සිහිපත් කරයි.

“එවැනි දෙයක් නයිජීරියාවේත් සිදු වුනොත් ඒ විදියටම පරීක්ෂණ පැවැත්වෙයි. පරීක්ෂණ වලින් පස්සෙ ඒ විදියෙම දඬුවම් ලැබේවි . ඒ නිසයි මම කියන්නෙ මේ මිනිස්සුන්ට එරෙහිව ඒ ආකාරයේ බලයක් පාවිච්චි කිරීමේ හැකියාවක් නැහැයි කියල” ආචාර්ය බාවා අබ්දුල්ලාහි වාසි කියා සිටියි.