රුසියාවේ අභිලාෂයන් වෙනුවෙන් 'පෙනී සිටින්න'

9 මැයි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 14:44 GMT

නාසි ජර්මනිය පරාජය කොට දෙවන ලෝක යුද්ධය ජයග්‍රහණය කිරීමේ වාර්ෂික හමුදා පෙළපාලියට සහභාගි වූ ජනාධිපති ව්ලදිමීර් පූතින් 'දේශප්‍රේමී යුද විජයග්‍රහණයට' ප්‍රශංසා කළේය.

මොස්කවූ අගනුවර රතු චතුරශ්‍රයට රැස්ව සිටි එකොළොස් දහසක හමුදා භටයන් අමතමින් කථා කළ ජනාධිපතිවරයා, රුසියාවේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත්කම අවධාරණය කළේය.

යුක්රේනය සම්බන්ධයෙන් ජනාධිපති පූතින් කිසිවක් සඳහන් නොකළ නමුත් ක්‍රිමියාවේ වෙරළබඩ සෙවස්තපෝල් නගරයේද මෙවැනිම පෙළපාලියක් පැවති බව වාර්තා වේ.

ඉන් අනතුරුව ව්ලදිමීර් පූතින් ක්‍රිමියාවේ සංචාරයක නිරත විය. රුසියාව විසින් ක්‍රිමියාව ඈඳා ගනු ලැබීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ක්‍රිමියාවේ සංචාරය කරන පළමු වතාව මෙයයි.

සෙවස්තපෝල් වරායබද නගරයේ නෞකාවක සිට ජනාධිපති පූතින් රුසියානු කළු මුහුදු නාවික බලකාය ඇමතුවේ දෙවැනි ලෝක යුද්ධයේදී නාසි ජර්මනිය පරාජය කිරීමේ සංවත්සර උත්සාහයක කොටසක් වශයෙන්.

ඉන් අනතුරුව වෙරළට ලඟා වූ රුසියානු ජනාධිපතිවරයා රැස්ව සිටි ජනකාය ඇමතීය.

"රුසියාව සමඟ සම්බන්ධ විය යුතු බවට ක්‍රිමියාවේ ජනතාව ස්ථිර තීන්දුවක් ගත්ත වර්ෂය හැටියට 2014 අවුරුද්ද සෙවස්තපොල් නගරයේ ඉතිහාසයට එක් වේවි කියල මට විශ්වාසයි. එවැනි තීන්දුවක් ගැනීම මගින් ඔවුන් ඉතිහාසය පෙන්වා දෙන සත්‍යයට සහ අපේ මුතු මිත්තන් පිළිබඳ මතකයට තමන්ගේ කැපවීම තහවුරු කරලා තියෙනව," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

ක්‍රිමියාව ඈඳා ගැනීම සම්බන්ධයෙන් රුසියාව බටහිර රටවල දැඩි විවේචනයට පාත්‍ර වී තිබේ.