වන සතුන් ආහාරයට වසර දහයක සිර දඬුවම්

  • 27 අප්‍රේල් 2014

වඳ වීමේ තර්ජනයට මුහුණපා සිටින දුර්ලභ ඝණයේ වන සතුන් ආහාරයට ගන්නා චීන ජාතිකයන් වසර දහයක් දක්වා සිරගත කළ හැකි නව නීති පනතක් ක්‍රියාත්මක කිරීමට චීන රජය පියවර ගෙන තිබේ.

අනවසරයෙන් දඩයම් කරන ලද වන සතුන් දැනුවත්ව මිළ දී ගන්නා පුද්ගලයින්ද මේ නීතියට අනුව සිර භාරයට ගැනීමේ හැකියාව හිමි වන බවයි, වැඩිදුරටත් පැවසෙන්නේ.

එවැන්නන්ට වසර තුන දක්වා සිරදඬුවම් නියම කිරීමට නියමිතයි.

රජයේ වාර්තා අනුව වඳ වීමේ තර්ජනයට මුහුණපා සිටින හාරසිය විස්සක් පමණ වන සත්ව විශේෂ අතරට පැන්ඩාවන්, ආසියානු කළු වලසුන් හා කබල්ලෑවන් අයත් වේ.

වන සතුන් මෙසේ දඩයම් කිරීම ශීඝ්‍ර ලෙස ඉහළ යාමට හේතුව වශයෙන් දැක්වෙන්නේ වන සත්ව මස් ආහාරයට ගැනීම හා ඒ ආශ්‍රයෙන් කෙරෙන නිෂ්පාදන බවයි පැවසෙන්නේ.

වලසුන් දස දහසක්

ෂින්හුවා පුවත් සේවයට අනුව අපරාධකරුවන් මර්ධනය කිරීමට නොයෙක් අවස්ථාවන්හි පියවර ගෙන ඇති නමුත් වරදකරුවන් නිසි දඩුවම් නොලබා චෝදනා වලින් මිදී යන බව වාර්තා වේ.

චීන ජාතික ජනතා කොන්ග්‍රසයේ නීති හා ක්‍රම සම්පාදන කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානී ලැන්ග් ෂෙන්ග් නීති සම්පාදකයන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ මෙවන් මහා පරිමාණ නීති විරෝධී සත්ව දඩයම් සදහා මූලික වශයෙන් දඩයම්කරුවන් පෙළඹෙන්නේ එම නිෂ්පාදන මිළට ගන්නා පුද්ගලයන් නිසා බවයි.

වඳ වීමේ තර්ජනයට ලක්ව සිටින දුර්ලභ ඝණයේ වන සතුන් ආහාරයට ගන්නා චීන ජාතිකයන් ඇතුළු බොහෝ ආසියානුවන් මෙවැනි සතුන් ආහාරයට ගැනීමෙන් ශරීර ශක්තිය හොඳින් පවත්වා ගැනීමට හා රෝග සුවපත් කර ගැනීමට හැකියාව ලැබෙන බව විශ්වාස කරති.

චීන දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව පුළුස්සන ලද කබල්ලෑ කොරපොතු විෂ නැසීමට හා අංශ භාග රෝගී තත්වයෙන් සුවය ලැබීමට උපකාරී වන බවට විශ්වාස කරනු ලැබේ.

ඒ අතරම පිසින ලද කබල්ලෑ මස් ප්‍රණීත ආහාරයක් වශයෙන්ද චීන ජාතිකයන් අතර ප්‍රසිද්ධයි.

මේ අතර වලසුන්ගේ පිත විවිධ රෝගාබාධයන් සදහා පිළියම් කිරීමට චීන ජතිකයන් විසින් යොදා ගනු ලබනවා. සත්ව අයිතීන් සුරැකීමේ සංවිධානයක් වන ඇනිමල් ඒෂියා සංවිධානය පවසන්නේ අවම වශයෙන් කළු වලසුන් දස දහසක් පමණ චීන ගොවි පොළවල් තුල රදවා තබා ඔවුන්ගේ පිත දෝවා ගන්නා බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නැගෙනහිර ආසියාවේ සහ පැසිෆික් කළාපයේ නීති විරෝධී ලෙස වන සතුන් දඩයම් කරන වෙළදුන් පිළිබඳ කරන ලද අධ්‍යනයකකට අනුව ඇතැම් පුද්ගලයන් වන සතුන් පරිභෝජනය සදහා යොදා ගන්නේ සමාජ තත්වය අන්‍යන්ට හැඟ වීමට හා භාහිර අලංකරණය සදහායි.

එම අධ්‍යනයට අනුව චීනය වන සතුන් වෙළදාමේ කළාපීය බලවතා බවට පත්ව ඇති බව වැඩි දුරටත් සදහන් වේ.