ඔබාමා ජපානයේ පැත්ත ගනියි

  • 23 අප්‍රේල් 2014
දුපත් පිලිබඳ ප්‍රශ්නය ආරක්ෂක සම්මුතිය මගින් ආවරණය වන බවයි ඔහු පවසන්නේ

ජපානය හා චීනය අතර අමනාපයකට හේතු වී ඇති දුපත්වල අයිතිය පිලිබඳ ප්‍රශ්ණය ද වොෂින්ටනය හා ටෝකියෝව අත්සන් තබා ඇති ආරක්ෂක සම්මුතිය මගින් ආවරණය වන හෙයින් දුපත් පිලිබඳ ප්‍රශ්නයේදී ඇමරිකාවේ සහය ජපානයට ලැබෙන බව ඇමරිකානු ජනාධිපති ඔබාමා පැවසීය.

ආසියානු සංචාරය ඇරඹීමට පෙර ජපන් පුවත්පතක් සමග කළ සාකච්චාවක දී අදහස් දැක්වූ ජනාධිපති ඔබාමා කියා සිටියේ නැගෙනහිර චීන මුහුදේ ඇති ජනශුන්‍ය දුපත් වල අයිතිය පිලිබඳ ජපානයට ඇති අයිතිය සුළු කොට තැකීමේ ඕනෑම උත්සාහයකට ඇමරිකාව විරුද්ධ වන බවයි.

ටෝකියෝව හා බෙයිජිං අතර අමනාපකම් වැඩි දියුණු වූ අවස්ථාවල ඇමරිකාව සහය පළ කළ අවස්ථා තිබුණ ද ඇමරිකානු ජනාධිපතිවරයා විසින් මෙසේ විශේෂ සහයෝගය පළ කිරීමක් සිදු වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

ජනාධිපතිවරයා මෙම සංචාරයේ දී දකුණු කොරියාවේ, පිලිපීනයේ හා මැලේසියාවේ ද සංචාරය කිරීමට නියමිතය.