මරණය හමුවේ වසර පනහකට පසු නිදහස

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 27 බ්‍රහස්පතින්දා - 10:43 GMT

හකමදා වෙනුවෙන් ඔහුගේ සහෝදරිය

මරණීය දණ්ඩනයට නියම කරනු ලැබ අවුරුදු පනහකට ආසන්න කාලයක් බන්ධනාගාර ගත කර ගනු ලැබ සිටි ජපන් ජාතිකයකු මුදා හරිමින් ඔහු සම්බන්ධයෙන් අලුතින් නඩු විභාගයක් ආරම්භ කරන මෙන් එරට අධිකරණය නියෝග කර ඇත.

වෘත්තීය බොක්ෂින් ක්‍රීඩකයකු වූ ඉවාඕ හකමදා නම් එම සිරකරු මරණීය දණ්ඩනයට යටත් කරනු ලැබ ලෝකයේ වැඩිම කාලයක් බන්ධගනාගාර ගත කරනු ලැබ සිටි තැනැත්තා යයි සැලකෙයි.

ඔහුගේ දැනට වයස අවුරුදු හැත්තෑ අටකි.

1968 වසරේ ඉවාඕ හකමදා මරණීය දණ්ඩනයට යටත් කෙරුණේ ඔහුගේ එවකට හාම්පුතා,ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා මරා දමන ලද බවට එල්ල කෙරුණා චෝදනා යටතේ.

ඔහු අත්අඩංගුවට ගෙන දවස් විස්සක් තිස්සේ පොලිසිය පහර දීමේදී වරද පිළි ගනිමින් පාපොච්චාරණයක් කළ බවයි ඉවාඕ හකමදා ප්‍රකාශ කරන්නේ.

අලුත්ම වාර්තා මගින් පැවසෙන්නේ ඉවාඕ හකමදාගේ නීතිවේදීන් විසින් ඉදිරිපත් කරන ලද ඩීඑන්ඒ වාර්තාවක් අනුව අධිකරණය චුදිතයාට එරෙහි මරණ දඬුවම අත්හිටුවන ලද බවයි.

ඩීඑන්ඒ පරීක්ෂණ

ඇඳුම්වල තිබුණ රුධිරය තම සේවාදායකයාගේ නොවන බව ඩීඑන්ඒ පරීක්ෂණ මගින් ඔප්පු කෙරෙන බවයි නීතිවේදීන් අධිකරණයට කියා සිටියේ.

එම පැමිණිල්ල විභාගයට ගත විනිශ්චය මණ්ඩලයේ ප්‍රධාන විනිසුරු හිරෝකි ප්‍රකාශ කළේ අධිකරණයට ඉදිරිපත් කර ඇති ඇඳුම් විත්තිකරුගේ නොවන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ නිලධාරීන් ඉවාඕ හකමදාට එරෙහි චෝදනා ගොතා තිබුණා විය හැකි යයි අලුතින් ඉදිරිපත් කෙරුණ සාක්ෂි විභාග කළ විනිසකරු ප්‍රකාශ කර ඇත.

ඉවාඕ හකමදාගේ සහෝදරිය දැනට අසූ එක් වැනි වියේ පසු වෙන අතර, ඇය සිය සහෝදරයාට යුක්තිය ඉටුකර ගැනීමෙහිලා පසුගිය අඩ සියවස පුරාම දුෂ්කර අරගලයක නිරතව සිටියාය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.