උතුරු කොරියානු පුරුෂයන්ට - කිම් ජොන් උන් කොණ්ඩ මෝස්තරය

  • 26 මාර්තු 2014

උතුරු කොරියානු පාලක කිම් ජොන් උන් කොණ්ඩය කපන ආකාරයට රටේ සෙසු පුරුෂයන්ද කොණ්ඩ කැපිය යුතු බවට නියෝගයක් නිකුත් කර ඇත.

රජයේ අනු දැනුම ඇතිව මෙයින් සති දෙකකට පෙර අදාළ නියෝගය නිකුත් කරනු ලැබ ඇති බවයි, මාධ්‍ය වාර්තා මගින් පැවසෙන්නේ.

පෙනුම සම්බන්ධයෙන් ඇතැමුන්ට වෙනත් මත තිබුනත්, මේ වන විට කිම් ජොන් උන් කොණ්ඩ මෝස්තරය උතුරු කොරියාව පුරා පැතිර යමින් පවතින බවත් වාර්තා වෙයි.

“ ඔබත් මනාප නම්, අපේ නායකයාගේ කොණ්ඩ මෝස්තරය හරිම සුවිශේෂී එකක්! එක් ආරංචි මාර්ගයක් ‘රේඩියෝ ෆ්‍රී ඒසියා’ වැඩසටහනට කියා තිබුණි.

“ඒ මෝස්තරය කාටත් ගැළපෙන්නේ නැහැ. මොකද, පුද්ගලයාගේ පුද්ගලයාට මුහුණ සහ හිස වෙනස්” එමගින් පැවසුණි.

මේ අතර, චීනයේ වෙසෙන උතුරු කොරියානු ජාතිකයෙක් පවසන්නේ, කිම් ජොන් උන් කොණ්ඩ මෝස්තරය චීනයේ හොර ජාවාරම් කාරයන්ට සමාන එකක් වන හෙයින් එය සිය රටේ සැබැවින්ම ජනප්‍රිය නොවන බවක් පෙනී යන බවයි.

“එය චීන හොර ජාවාරම් කාරයන්ගේ කොණ්ඩ මෝස්තරය හැටියට 2000 වසරේ මැද භාගය වන තෙක් හඳුන්වනු ලැබුණ” බවයි කොරියා ටයිම්ස් පුවත්පත වාර්තා කළේ.

කිම් ජොන් උන්ගේ පියා වූ හිටපු පාලක කිම් ජොන් ඉල් දාහත් වසරක් උතුරු කොරියාව පාලනය කළ අතර,උස පුද්ගලයකු හැටියට පෙනී සිටීම සඳහා ඔහු පිම්බුණ හිසකෙස් සහිත කොන්ඩ මෝස්තරයක් අනුවයි සැරසී සිටියේ.