ලිබියානු කැරලිකරුවෝ තෙල් අපනයනයේ

  • 8 මාර්තු 2014
ලිබියානු කැරලිකරුවන්ගෙන් තෙල් ලබා ගන්නා නැවක්

උතුරු කොරියානු කොඩිය සහිත තෙල් නැවකට සිදු කෙරෙන සැපයුම් සමඟ සිය පළමු තෙල් අපනයන කටයුතු ආරම්භ කිරීමට පියවර ගත් බව ලිබියානු වරාය කීපයක් තම පාලනය යටතට ගෙන සිටින සන්නද්ධ කැරලිකරුවෝ පවසති.

නැගෙනහිර ලිබියාවේ වරායක පාලනය සිය අතට ගෙන සිටින කැරලිකාර සංවිධානයක ප්‍රකාශකයෙක් බීබීසියට අදහස් දක්වමිනුයි එම තොරතුරු අනාවරණය කළේ.

‘මෝර්නින් ග්ලෝරි’ නම් නෞකාව බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පාලනය කරනු ලබන ‘සිදර්’ වරායේ නතර කර ඇති බව ලිබියාවේ ඛනිජ තෙල් භාර නියෝජ්‍ය ඇමතිවරයා විසින් ද තහවුරු කරනු ලැබ ඇත.

එහෙත් එම නෞකාව ‘පියොන්ග් යෑන්ග්’ පාලනයට සම්බන්ධ යාත්‍රාවක් නොවන බව විශ්ලේෂකයන්ගේ අදහසයි.

කැරලිකරුවන්ගේ ක්‍රියාදාමය මුහුදු කොල්ලයක් හැටියටයි, ලිබියානු නිලධාරීන් විසින් හඳුන්වනු ලබන්නේ.

රට පුරා තෙල් නිධි සහ වරායයන් සන්නද්ධ කණ්ඩායම් විසින් අල්ලා ගනු ලැබීම සහ වර්ජන නිසා ලිබියානු ආණ්ඩුවේ තෙල් අපනයන ප්‍රයත්නයට අවහිරයක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ලිබියානු ආණ්ඩුවේ පාලනය සහිත ජාතික තෙල් සංස්ථාව(NOC) වරාය කරා එන නැව්වලට අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බවත් වාර්තා වෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර