“කමි කසෙ” ලිපි “ලෝක උරුමයක්” කරන්නැයි ඉල්ලති

8 මාර්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 15:36 GMT

දෙවන ලෝක යුද්ධයේ අවසන් දින වලදී ඇමරිකානු සහ මිත්‍ර හමුදාවන්ගේ නැව් මතට කඩා වැදුණු මරාගෙන මැරෙන තරුණ ජපන් ගුවන් නියමු බල ඇනිය හැඳින්වුයේ “කමි කසෙ” නමිනි.

ස්වේච්ඡාවෙන් තම මව්බිම වෙනුවෙන් දිවි කැපකළ ඔවුන් විසින් තම ආදරණීයයන් වෙත ලියන ලද අවසන් හසුන් සඳහා එකසත් ජාතීන්ගේ “ලෝක උරුම” ශ්‍රේණි ගත කිරීම ලබා ගැනීම මගින් එම නියමුවන් අමරණීය කිරීමට ජපානය බලාපොරොත්තුවෙයි.

“ජීවිත විනාශයක් නොවේ”

කමි කසෙ නියමු තදමසා ඉතත්සු

“කමි කසෙ” ගුවන් නියමුවන් ලෝකය හඳුනා ගෙන ඇත්තේ අධිරාජයා වෙත වූ අන්ධ භක්තියෙන් ජීවිත විනාශ කරගත් උන්මත්තක තරුණ පිරිසක් ලෙස වුවද බොහෝ ජපන් ජාතිකයන් ඔවුන් හඳුනා ගන්නේ තමන්ගේ මව් බිම වෙනුවෙන් දිවි කැපකළ එඩිතර තරුණ කැළක් ලෙසටය.

මධ්‍යම ජපානයේ නගෝයා නගරයට ආසන්නව පදිංචිව සිටින 89 හැවිරිදි තදමසා ඉතාත්සු යනු එදා එලෙස කමි කසෙ නියමුවෙක්ව සිට දෛවෝපගත ලෙස දිවි බේරුණු ජපන් ජාතිකයෙකි.

ජපානයේ දී හඳුන්වන විදියට “ඉතාත්සු සාන්” තම මිය ගිය සහෝදර නියමුවන් පිලිබඳ මතකය අමරණීය කිරීම වෙනුවෙන් කැපවී සිටියි.

“අපි ගියේ කැමැත්තෙන්”

බොහෝ ජපන් ජාතිකයන් පවසන්නේ කමි කසෙ නියමුවන් මව් බිම වෙනුවෙන් දිවි කැපකළ එඩිතර තරුණ කැලක් බවයි

1945 දී ඉතත්සු සාන් කමි කසෙ නියමුවෙක් ලෙස ස්වේච්ඡාවෙන් සේවයට බැඳී ඇත්තේ ඔහුට වයස අවුරුදු දහ නමයේ දී ය.

“ඒ ඔකිනාව වලට අමරිකානු ප්‍රහාර එල්ල වෙමින් තිබුණු වෙලාව. ඇමරිකානු හමුදා ඔකිනාවා ආක්‍රමණය කරල ඒ ගොල්ලන්ගේ ගුවන්යානා නග්ගන්න ඒක යොදා ගනියි කියල අපි බය වුණා. එහෙම වුනොත් ඒ අයට ජපානයේ ප්‍රධාන දුපත ට පහර දෙන්න හැකියාවක් ලැබෙනව. ඒ නිසා තරුණ අපිට මේ විනාශය නවත්වන්න අවශ්‍ය වුනා. එක්දහස් නමසිය හතලිස් පහේ මාර්තු මාසෙ වෙනකොට අපි

වගෙ තරුණයෝ ස්වේච්ඡාවෙන් “කමි කසේ” ගුවන් නියමුවෙක් වෙන එක සාමාන්‍ය දෙයක් බවට පත්වෙළා තිබුණ” යනුවෙන් ඉතත්සු සාන් තම අතීත අත්දැකීම විස්තර කළේය.

කෙසේවුවද සිය ගණනක් සහෝදර නියමුවන් ඔවුන් පැදවූ ගුවන් යානාත් සමග විනාශයට පත් වුවද බලාපොරොත්තු නොවූ ආකාරයට ඉතත්සු සාන් ගේ දිවි බේරුණි.

“ජීවිතය බේරීම ලැජ්ජාවක්”

“කමි කසේ” ගුවන් නියමුවෙක් වෙන එක සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබුණි

දකුණු පස ඉලක්කයක් වෙතට පැදවූ ඔහුගේ යානයේ එන්ජිමේ සිදුවූ දෝෂයක් නිසා ඔහුව නැවතත් හමුදා ඛණ්ඩය වෙතට කැඳවුණු අතර නැවත වතාවක් ප්‍රහාරයක් සඳහා පිටත්වීමට ඔහු සුදානමින් සිටියත් ඊට පෙර යුද්ධය නිමාවීම හේතුවෙන් ඔහුට ජීවත් වීමේ වාසනාව ලැබිණි.

එහෙත් ඉන් පසු අවුරුදු ගණනාවක් යන තුරු ඔහු තම කතාව රහසක් ලෙස තබා ගත්තේ ජීවිතය බේරීම ලජ්ජාවක් ලෙස ඔහු සැලකු බැවිණි.

ඉතාත්සු සාන් ගේ නිවස යුද්ධයේදී එසේ මිය ගිය තම සහෝදර කමි කසෙ නියමුවන්ට තැනූ දෙවොලක් වැනිය.

නිවෙස තුළ බිත්ති වසා පැතිරී ඇත්තේ ගුවන් නියමු ඇඳුමින් සැරසීගත් තරුණ ගුවන් නියමුවන්ගේ දුර්වර්ණ වූ චායාරූප වලිනි.

එසේම කමි කසෙ නියමුවන් විසින් ලියන ලද ලියුම් විශාල ප්‍රමාණයක් ද ඒ අතර වෙයි.

“අධිකාරීවාදයට පැවැත්මක් නෑ”

ඒ ලියුම් බොහොමයක් තුළ තම ආදරණීයයන් ගෙන් වෙන් වීමට සිදුවීම පිලිබඳ හද සසළ කරවන පණිවුඩ ගැබ් වී ඇතත් ඓතිහාසික ව වඩා අවධානයට ලක් වී ඇත්තේ ඇතැම් කමි කසෙ නියමුවන් විසින් යුද්ධය විවේචනය කරමින් ලියූ හසුන් ය.

තරුණ ලුතිනන් වරයෙක් ව සිටි ර්යෝජි උඑහරා ලියූ ලිපියක මෙලෙස දැක්වේ.

“හෙට දවසේදී , ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන තවත් එක අයෙක් මේ ලෝකය හැර යාවි. ඔහු තනියෙන් බව දැනේවි. එත් ඔහුගේ හදවත ආත්ම තෘප්තියෙන් පිරී තිබේවි. ෆැසිස්ට් වාදී ඉතාලියත්, නාසි ජර්මනියත් පරාද වුණා. අධිකාරී වාදය හරියට කැඩුණු ගල් කට වලින් තැනු නිවසක් වගේ ”.

කමිකසෙ ලියුම් වලට ලෝක උරුම තත්වය ලබා දිය යුතුද යන්න පිලිබඳ මත වාදයන් තිබුණ ද ඉතත්සු සාන් ගේ අදහසට අනුව එම ලියුම් අනාගත පරපුරට ලබා දිය යුතු මහඟු දායාදයකි.