බෙදුම්වාදී ප්‍රකාශන තබා ගත් දෙදෙනෙක් අත්අඩංගුවේ

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 7 සිකුරාදා - 17:46 GMT

ශ්‍රී ලංකා පොලිසිය වාර්ගික සුහදතාවයට හානි කෙරෙන ප්‍රකාශන ළඟ තබා ගත් බවට චෝදනා කරමින් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබ ඇත.

තහවුරු නොකළ වාර්තා මගින් පැවසෙන්නේ ශ්‍රී ලංකාව තුළ වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා සහයෝගය පළ කෙරෙන පෝස්ටර් ඔවුන් අත තිබුණ බවයි.

අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් තැනැත්තකු රැඳවුම් භාරයේ සිටි කොටි කැරලිකරුවකු බවයි, ශ්‍රී ලංකා පොලිස් ප්‍රකාශකයා සඳහන් කළේ.

සැකකරුවන් අත වූ ප්‍රකාශන විවිධ ජනවර්ග අතර කුපිතකාරී හැඟීම් ඇති කෙරෙන ඒවා බව සඳහන් කළ පොලිස් ප්‍රකාශකයා, ජාතික සමගියට හානිකර එම ප්‍රකාශන ළඟ තබා ගැනීම සාපරාධී වරදක් වන බවත් ඔවුන් සෙනසුරාදා අධිකරණයට ඉදිරිපත් කරන බවත් කියා සිටියේය.

ජනමත විමසුමක්

පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී අජිත් රෝහණ

“දෙමළ ඊළමේ සහ දෙමළ ජනයාගේ ආරක්ෂකයෝ” යනුවෙන් අත්සන් තබා ඇති පෝස්ටර් මගින් ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ගත් වීදි අරගල සඳහා උපදෙස් දෙන අතර, එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ඇතිව දෙමළ ජනයාට නිදහස හෝ ස්වයංපාලන බලය පැවරීම සඳහා වන ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා සහාය පළ කෙරෙන අදහස් ඒවායේ ඇතුළත් බවයි වාර්තා මගින් පැවසෙන්නේ.

උතුරුපළාතේ සමූහ මිනීවළවල් වලින් පසුගියදා සොයා ගනු ලැබුණ ඇටසැකිලි “තම ඥාතීන්ගේ”යයි කියා සිටින ඉහත කී ප්‍රකාශන, ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ අයිතිවාසිකම් සහ යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තර බලපෑමක් එල්ල විය යුතු බවත් කියා සිටියි.

එමගින් වැඩි දුරටත් කියා සිටින්නේ,ශ්‍රී ලංකා ආණ්ඩුව දෙමළ ඇතුළු සුළු ජන අයිතීන්ට ගරු නො කරන බවයි.

ශ්‍රී ලංකා ආණ්ඩුව දෙමළ ජනයාට ඔවුන්ගේ නිදහස සංස්කෘතිය සම්පත් සහ ආර්ථිකය අහිමි කර ඇති බවත් පොලිස් අත්අඩංගුවට පත් ප්‍රකාශනවල දැක්වෙන බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකා ආණ්ඩුව එවැනි චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, බෙදුම්වාදී මතවාදය සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ඉතාම දැඩි පිළිවෙතකි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.