දෙමළ අනන්‍යතාව ඉල්ලා සිටින මියන්මාර්වාසීන්

  • 6 මාර්තු 2014

මියන්මාරයේ සුළු ජන කොටසක් වන දෙමළ ප්‍රජාව සිය පාරම්පරික සංස්කෘතිය රැක ගැනීම සඳහා දරන ප්‍රයත්නය ඉතා සිත් ගන්නා සුළු බව බීබීසී දෙමළ සේවයේ ස්වාමිනාදන් නටරාජන් එහි සිදු කළ ගවේෂණ චාරිකාවකින් අනතුරුව පවසයි.

දහනව වැනි සියවසේ මුල්භාගයේ එවකට බුරුමය යනුවෙන් හැඳින්වුන දේශයට සංක්‍රමණය වූ ඉන්දියානු සම්භවයක් සහිත ප්‍රජාව අද කෝටි පහ හමාරක් තරම් වන එරට මුළු ජනගහනයෙන් දළ වශයෙන් සියයට දෙකක් තරම් වෙයි.

මියන්මාර්වාසී එම දෙමළ ප්‍රජාව තමන් මුහුණ දෙන ආර්ථික සහ සංස්කෘතික අභියෝගය ජය ගැනීමට සංවිධානය වෙන ආකාරය සුවිශේෂී එකක් වන බවයි පෙනී යන්නේ.

යටත් විජිත පාලනයෙන් මිදී 1948 දී නිදහස් ලැබීමෙන් අනතුරුව එදා බුරුම පාලකයන් විසින් හඳුන්වා දෙන ලද ඉඩම් ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ , බුරුම බස නිල භාෂාව බවට පත් කරනු ලැබීම සහ දේශීය බුරුම ජනතාවට විශේෂ අනුග්‍රහ දැක්වීම වැනි පියවරත් සමඟ දෙමළ ප්‍රජාව සමාජ ධුරාවලියෙන් කොන් වී ගිය අතර දැන් ඔවුන්ගේ ප්‍රයත්නය අලුතින් පාසල් පිහිටුවමින් සිය බස සහ සංස්කෘතිය යළි පණ ගැන්වීමයි.

පස්වැනි පරපුර

ශ්‍රී ලංකාවට සහ දකුණු අප්‍රිකාවට සංක්‍රමණය වූ කම්කරු ශ්‍රමිකයන් සහ මියන්මාරයට සංක්‍රමණය වූ ඉන්දියානු ප්‍රජාව අතර යම් වෙනසක් දක්නට ලැබෙයි.ඒ ඔවුන් යටත් විජිත පරිපාලනයේ ශ්‍රමිකයන් බවට පත් නොවෙමින් ‘නගරදාස්’නමින් හැඳින්වෙන බුරුම සාම්ප්‍රධායික වෙළෙඳ කුලයේ කෘෂි කම්කරුවන් බවට පත් වීමෙනි.

අද මියන්මාරයේ ජීවත් වන්නේ දහනව වැනි සියවසේ බුරුමයට සංක්‍රමණය වූ ඉන්දියානු දෙමළ පරජාවේ පස්වැනි පරපුරයි.ඔවුන්ට දෙමළ බස නොවැටහෙයි.

“මගේ දෙමළ යාළුවො පවා කතා කරන්නේ බුරුම භාෂාව.මට දෙමළ ටිකක් තේරෙනවා.ඒත් කතා කරන්න බැහැ.” නව පරපුරේ දෙමළ යුවතියක් වන සුමති ස්වාමිනාදන් නටරාජන් සමඟ පැවසුවාය.

‘මෝලමියෙන්’වරාය නගරයේ වෙළෙඳාම ජීවිකා වෘත්තීය කර ගත් දේවරාජ් පවසන්නේ 1836 වසරේ ඉදි කරන ලද කෝවිලක් තමන්ට ඇති බවයි. ඇතැමෙක් පවසන පරිදි දෙමළ සංක්‍රමණිකයන් පළමු වරට බුරුමයට ලඟා වී තිබෙන්නේ 1824 වසරේ බවත් දේවරාජ් පවසයි.

දෙමළ පාසල් වසා දැමීම

දෙවන ලෝක මහා යුද්ධයේදී ජපානය බුරුමය ආක්‍රමණය කිරීමත් සමඟ දහස් ගණනක් දෙමළ ජනයා ආපසු ඉන්දියාවට පැමිණ ඇත.

නිදහසින් පසුව බුරුම බලධාරීන් විසින් පෙරට ගෙන ගිය ව්‍යාපාර සහ කෘෂි කාර්මික ඉඩම් පවර ගැනීමේ වැඩ පිළිවෙලත් බුරුම බස අධ්‍යාපන මාධ්‍යය හැටියට බල ගැන්වීමත් සමඟ 1960 දශකයේදී දෙමළ මාධ්‍යයෙන් පවත්වා ගෙන යමින් තිබුන පාසල් වසා දැමීමට සිදු වී ඇත.

මෙයින් වසර පනහකට පෙර දෙමළ පාසල් වසා දමනු ලැබීම විශාල පාඩුවක් විනැයි නෙයිනාර් මොහමඩ් පවසයි.

“මම කෝච්චියකින් යද්දී දැක්ක,සාරි ඇඳ ගත්ත ගැහැණු ළමයි කණ්ඩායමක්. දිග කොන්ඩ මලින් සරසල හිටිය ඒ කෙල්ලොත් එක්ක මම දෙමළෙන් කතා කළත් ඔවුන්ට එකම එක වචනයක් වත් තේරුණේ නැහැ.” නෙයිනාර් මොහමඩ් සිහිපත් කරයි.

කෝවිලේ බුදු පිළිම

වත්මන් මියන්මාරයේ වෙසෙන දෙමළ පරපුර බුරුම බස කතා කරන ,බුරුම ආහාර බුදින, බුරුම සංස්කෘතියට අනුගත ප්‍රජාවක් වන බවයි ස්වාමිනාදන් නටරාජන් දකින්නේ.

මියන්මාර් සංචාරයේ නිරත වූ ස්වාමිනාදන් නටරාජන්ට එහි කෝවිල්වල දෙව් රූ අතර බුදු පිළිම තබා තිබෙනු දක්නට ලැබුණ අතර එය දකුණු ඉන්දියාවේ සුලබ දසුනක් නොවන බව ඔහු පවසයි.

මෙය සහජීවන ප්‍රතිපදාව නිසාම නොව බෞද්ධ මියන්මාරයේ නිතර වාර්තා වෙන වාර්ගික ප්‍රහාරවලින් බේරී සිටීමේ උපක්‍රමයක් ද වෙයි.

ආණ්ඩුවේ තහංචි නිසා සිය බස සංස්කෘතිය කෝවිල් තුළ පමණක් ප්‍රගුණ කිරීමට මියන්මාර්වාසී දෙමළ ජනයාට සිදු ව ඇති අතර එම අධ්‍යාපනය ආගම නැටුම් සහ සංගීතයට පමණක් සීමා වීමෙන් එම ප්‍රජාව හුදෙකලා තත්වයකයි පසු වන්නේ.