ජයලලිතාගේ බුහුමන් සිහිනය

  • 27 පෙබරවාරි 2014

තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ හැටහය වැනි ජන්ම දිනය නිමිත්තෙන් කොයිම්බටෝර්හි ප්‍රදර්ශනය කෙරෙන යෝධ ඡායාරූප පෙළක් නැරඹීමට ඇයගේ ආධාර කරුවෝ නගරය කරා ඇදෙමින් සිටිති.

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ ජයලලිතා ඉදිරියේ දණ නමා වඳිනු දැක්වෙන රූප රාමුවක් ද ඒ අතර වෙයි.

එම පින්තූරය සඳහා යොදා ඇති සිරස්තලයේ දැක්වෙන්නේ “මේ අපගේ අගමැතිවරයාත් කටයුතු කළ යුතු ආකාරය” යනුවෙන්.

ඇමෙරිකානු චීන සහ ජපානයේ රාජ්‍ය නායකයන් ඇතුළු ලෝක නායකයන් කීප දෙනකු අතරින් රතු පලස ඔස්සේ ජය ලලිතා පියනගන ආකාරය එක් යෝධ පුවරුවක දැක්වෙයි.

තවත් පුවරුවක දැක්වෙන්නේ බරක් ඔබාමා, ව්ලදිමීර් පුතින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඇතුළු නායකයන් ජයලලිතා පිළිගැනීමට අත්පොළසන් දෙන ආකාරයයි.

ජයලලිතාගේ හැටහය වැනි උපන් දිනය වෙනුවෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ හැඩයෙන් විශාල කේක් ගෙඩියක් නිමවා ඇති අතර රුක් රෝපණය කිරීම්, කලා ප්‍රදර්ශන සහ ලේ දන් දීමේ මහා වැඩ සටහන් සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවේ මීළඟ මහ මැතිවරණයේදී ජයලලිතා වමට නැඹුරු පක්ෂවල සහයෝගය ලබන අගමැති අපේක්ෂිකාවක් වනු ඇතැයි ද සැලකෙයි.