යුක්රේනයට වැඩ බලන ජනාධිපතිවරයෙක්

  • 23 පෙබරවාරි 2014
අඟහරුවාදා වන විට ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගන්නා මෙන් වැඩ බලන ජනාධිපති මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

යුක්රේන පාර්ලිමේන්තුවේ කතානායකවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙසින් පත් කිරීමට පාර්ලිමේන්තුව තීරණය කළේය.

මහජන උද්ඝෝෂණ හමුවේ ජනාධිපති වික්තර් යනුකෝවිච් පදවියෙන් පහ කිරීමට තීරණය කිරීමෙන් දිනකට පසුවයි, පාර්ලිමේන්තුව එම තීරණයට එළැඹුණේ.

ලබන අඟහරුවාදා වන විට ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගන්නා මෙන් වැඩ බලන ජනාධිපති අලෙක්සන්දර් තුර්චිනොෆ් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

තිමොශේන්කෝගේ ආධාරකරුවෙක්

"ගරු මහජන නියෝජිතවරුනි, මන්ත්‍රීවරුන්ගේ බහුතර කණ්ඩායමක් අලුතෙන් පිහිටුවා ගෙන මහජන විශ්වාසය දිනු ආණ්ඩුවක් පිහිටුවා ගන්නා මෙන් සියලුම පාර්ශවවල නායකයන්ට සහ මන්ත්‍රීවරුන්ට මම උපදෙස් දෙනවා. එය අපේ ප්‍රමුඛත්වය ලැබෙන කාර්යභාරයයි," යනුවෙන්ද ඔහු පැවසීය.

නව වැඩ බලන ජනාධිපතිවරයා, සෙනසුරාදා බන්ධනාගාරයෙන් නිදහස් කෙරුණු යුක්රේනයේ හිටපු අගමැතිනි යූලියා තිමොශේන්කෝ ගේ සමීප ආධාරකරුවෙක්.

අසූවකට වැඩි පිරිසක් මරා දමමින් කියෙෆ් අගනුවර මෑතදී හටගත් ගැටුම්වලට බලයෙන් පහ කෙරුණු ජනාධිපති වික්තර් යනුකෝවිච් සහ ඔහුගේ සමීප ආධාරකරුවන් වගකිවයුතු බවට ඔහුගේම පක්ෂය මේ අතර චෝදනා කොට තිබේ.

ජනාධිපතිවරයා අගනුවරින් පලා ගොස් සිටින අතර, අගනුවර ඝාතන සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ බලධාරීන් අත් අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කෙරිණ.