යුක්රේනයේ හදිසි ජනපතිවරණයක්

  • 21 පෙබරවාරි 2014
ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන ව්‍යවස්ථා සංශෝධනවලටද අනුමැතිය

යුක්රේනයේ දේශපාලන අර්බුදය විසඳීමේ සම්මුතියක කොටසක් වශයෙන් නියමිත කාලයට කලින් හදිසි ජනපතිවරණයක් පැවැත්වීමට ජනාධිපති වික්තර් යනුකෝවිච් එකඟ වී තිබේ.

එමෙන්ම ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන ව්‍යවස්ථා සංශෝධනවලට සහ ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවීමටත් තමන් එකඟ වූ බව ජනාධිපතිවරයා පවසයි.

යුරෝපා සංගමයේ සහ රුසියාවේ නියෝජිතයන්ගේද සහභාගිත්වයෙන් බ්‍රහස්පතින්දා රාත්‍රියේ විරුද්ධ පක්ෂය සමඟ පැය ගණනාවක් මුළුල්ලේ පැවැත්වුණු සාකච්ඡාවලදීයි, එම සම්මුතියට එළැඹි තිබෙන්නේ.

සම්මුතිය පිළිබඳව විරුද්ධ පක්ෂය තවමත් කිසිවක් සඳහන් කොට නොමැති අතර, අගනුවර වීදි බස සිටින උද්ඝෝෂකයන් එයට සහාය දෙනු ඇත්ද යන්න තවමත් පැහැදිලි නැහැ.

සියලුම ආරක්ෂක හමුදා යලි බැරැක්කවලට කැඳවීමට මේ අතර බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැත්වුණු හදිසි සැසිවාරයකදී පාර්ලිමේන්තුව තීන්දු කළේය.