ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘යුක්‍රේනයට බලපෑම් එපා’රුසියාව අනතුරු අඟවයි

20 පෙබරවාරි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 16:56 GMT

යුරෝපා හවුල නියෝජනය කරන විදේශ ඇමතිවරුන් කණ්ඩායමක් කීව් අගනුවර ජනාධිපති මන්දිරයේ දී යුක්‍රේන් ජනාධිපති වික්තර් යනුකොවිච් සමඟ සාකච්ඡා ආරම්භ කොට ඇත.

ප්‍රංශ ජර්මන් සහ පෝලන්ත විදේශ ඇමතිවරු සහභාගී වෙමින් සිටින සාකච්ඡා කලින් පැවැත්වීමට නියමිතව තිබුණ ස්ථානය අවට ගැටුම් දරුණු අතට හැරීමත් සමඟ ජනාධිපති මන්දිරය තුල සංවිධානය කිරීමට තීන්දු කරන ලද බවයි වාර්තා වන්නේ.

සාකච්ඡාවලට එක් ව සිටින පෝලන්ත විදේශ ඇමති රදොස්ලාව් සිකර්ස්කි විසින් පළ කරනු ලැබ ඇති ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ කීව් නගරයේ ජනාධිපති මන්දිරය අවට වෙඩි හඬ සමඟ කළු දුමාරයක් පැතිරෙමින් පවතින බවයි.

යුක්‍රේන් නිලධාරීන් කලබලකාරී තත්වයක පසු වෙන බවත් එම ‘ට්විටර්’ පණිවුඩයේ දැක්වෙයි.

කීව් නගරයට ගොස් සිටින රුසියාවේ නියෝජ්‍ය විදේශ ඇමතිවරයා අදහස් දක්වමින්, යුරෝපා හවුලේ නියෝජිතයන් යුක්‍රේන් ආණ්ඩුවෙන් කිසිදු මට්ටමක ඉල්ලීමක් කළ හොත් එය නුසුදුසු ක්‍රියාවක් වන බවයි කියා සිටියේ.

රුසියානු චෝදනා

යුක්‍රේන් ආණ්ඩු විරෝධී කැරලිකරුවන් ‘දාමරිකයන්’ කණ්ඩායමක් හැටියට විග්‍රහ කළ රුසියාවේ නියෝජ්‍ය විදේශ ඇමති ග්‍රිගරි කරසින් මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගනු ලැබුණ ආණ්ඩුවකට සහ ඉහත කී අකාරයේ කණ්ඩායමකට සමාන වැදගත් කමක් දෙන බවට යුරෝපා හවුලට චෝදනා කර තිබුණි.

මේ අතර යුක්‍රේනයෙන් ලැබෙන වාර්තා වලින් පැවසෙන්නේ නව ගැටුම් රැල්ලේදී අඩුතරමින් දාහත් දෙනකුවත් මරා දමා ඇති බවයි.

ඔවුන්ගෙන් ඇතැමෙක් එක වෙඩි උණ්ඩයකට පමණක් ලක් වීමෙන් මරණයට පත්ව ඇති අතර ඔවුන් ස්නයිපර් වෙඩික්කරුවන්ට ගොදුරු වෙන්නට ඇති බවයි ඇසින් දුටු සාක්ෂි කරුවන් පවසන්නේ.

ස්නයිපර් ප්‍රහාර

ජනාධිපති යනුකොවිච් සහ විපක්ෂ නායකයන් අතර බදාදා රාත්‍රියේ එකඟතාවයක් ඇති වුනත් බ්‍රහස්පතින්දා උදෑසන පටන් යලි ගැටුම් පුපුරා ගිය බවයි කීව් නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

ප්‍රදේශයේ රූපවාහිනී සේවාවක් මගින් කීව් නගර චතුරශ්‍රය සමීපයේ වැතිර ඇති මළ සිරුරු ප්‍රදර්ශනය කරනු ලැබුණි.

යුක්‍රේන් පොලිසිය පවසන්නේ ගැටුමේදී විසි දෙනකුට අධික සිය භටයන් තුවාල ලද බවයි.