බංග්ලාදේශයේ රොහින්ග්‍යා සංගණනයක්

  • 14 පෙබරවාරි 2014
රොහින්ග්‍යා දරුවෝ

අසල්වැසි බුරුමයේ සිට නීති විරෝධී ලෙසින් සිය රටට ඇතුළු වූ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් හඳුනා ගැනීම පිණිස සංගණනයක් පවත්වන බව බංග්ලාදේශ ආණ්ඩුව නිවේදනය කළේය.

සංගණනය පැවැත්වීම පිණිස තමන්ට එක්සත් ජාතීන් ඇතුළු විදේශීය රටවල සහාය අවශ්‍ය බව පවසන ආණ්ඩුව එම සැලසුම ප්‍රකාශයට පත් කළේ, ඊයේ විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන් සමඟ පැවැත්වුණු රැස්වීමක දී.

බීබීසීය සමඟ අදහස් දැක් වූ බංග්ලාදේශ විදේශ අමාත්‍යංශයේ ලේකම් ෂහිදුල් හක් කියා සිටියේ රොහින්ග්‍යා වරුන්ගේ ගැටලුවට විසඳුම් දීම බුරුම බලධාරීන්ගේ වගකීමක් බවයි.

“බුරුමයේ ඉඳල බංග්ලාදේශයට රහසිගතව ඇතුල් වුන පිරිස් ගැන කිසිම සංඛ්‍යාලේඛනයක් අපි ළඟ නැහැ. අපි ඒ ගැන තොරතුරු රැස් කළ යුතුයි. තොරතුරු ලබා ගත්තට පස්සේ අපි ඊළඟ පියවර ගන්නවා. ප්‍රශ්නේ පටන් ගත්තේ මියන්මාරයෙන් නිසා, අපි විසඳුම හොයන්න ඕනෙත් ඒ පැත්තෙන්.” ෂහිදුල් හක් පැවසීය.

එම ජනතාවගේ ඉරණම සම්බන්ධ ගැටලුවට බංග්ලාදේශය විසඳුම ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වීම අසාධාරණ බවද ඔහු කියා සිටියේය.

රොහින්ග්‍යා ජනතාව බංග්ලාදේශයේ සිට පැමිණි අනවසර සංක්‍රමණිකයන් බව බුරුම ආණ්ඩුවේ ස්ථාවරයයි.