සත්ව ජාවාරමට වැට බඳින ජගත් සමුළුවක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 14 සිකුරාදා - 17:28 GMT

නීති විරෝධී වන සත්ව වෙළෙඳාමට එරෙහිව පියවර ගැනීමට ලොව පුරා ආණ්ඩු ලන්ඩනයේ දී ප්‍රතිඥා දී තිබේ.

ලන්ඩනයේ සත්ව විද්‍යා සමාජය විසින් සංවිධානය කළ ජගත් සමුළුව ඊයේ අවසන් වූ අතර රටවල් 46 ක නියෝජිතයන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ආයතන 11 ක් ඊට අදාළ ලන්ඩන් ප්‍රකාශනයට අත්සන් තබා ඇත.

නීති විරෝධී ලෙස වන සතුන් දඩයම් කිරීම බරපතළ අපරාධයක් ලෙස සලකා එය නතර කිරීමට ගත යුතු ක්‍රියා මාර්ග ඉන් අවධාරණය කෙරේ.

එසේම වන සත්ව වෙළෙඳාම හා සම්බන්ධව ක්‍රියා කරන ජාවාරම් කරුවන් හා සංවිධාන ගත අපරාධ අතර ඇති සම්බන්ධය පිළිබඳව සොයා බැලීමට ප්‍රමුඛතාව දීමටත් ලන්ඩන් ප්‍රකාශනයෙන් කියවෙයි.

දේශ සීමා අතර සහයෝගය

වන සත්ව වෙළෙඳාම වළක්වාලීමේ පියවරක් වශයෙන් දේශ සීමා අතර සහයෝගය වැඩි කිරීමටත්, නීතිය ශක්තිමත් කිරීමත්, නීතිය ක්‍රියාත්මක කිරීමටත් කැපවීමට සමුළුවට සහභාගී වූ රටවල් 46 ප්‍රතිඥා දී තිබේ.

දස දහස් ගණන් අලි ඇතුන් , කොටින් සහ රයිනෝසිරස් සතුන් සෑම වසරකදීම මරා දැමෙන අතර මේ සතුන් වඳ වී යාමේ තර්ජනයකට ලක්ව ඇත.

එම සතුන් වැඩි වශයෙන්ම මරා දැමෙන්නේ අප්‍රිකානු රටවලයි. නමුත් සත්ව කොටස් වලට ඉතා විශාල ඉල්ලුමක් පවතින්නේ ආසියානු රටවලින්.

වන සත්ව ජාවාරම හා ප්‍රවාහනය පෙර නොවූ විරූ මට්ටමකට ලඟා වී ඇති බව පෙන්වා දෙන පරිසරවේදීන්, රයිනෝසිරස්, අලි ඇතුන් සහ කොටින් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති බවයි පවසන්නේ.

ලන්ඩනයේ සත්ව විද්‍යා සමාජය විසින් සංවිධානය කළ ලන්ඩන් සමුළුවේ අරමුණ වී ඇත්තේ වන සතුන් ආරක්ෂා කර වන සත්ව නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩු කරවා ගැනීමට ගත යුතු නව ක්‍රියා මාර්ග සාකච්ඡා කිරීමයි.

ක්‍රියාකාරී සැලැස්මක්

ලන්ඩනයේ සත්ව විද්‍යා සමාජයේ පරිසර සංරක්ෂණය බාර අධ්‍යක්‍ෂ මහාචාර්ය ජොනතන් බෙයිලි (Jonathan Baillie) පැවසුවේ නීති විරෝධී වන සත්ව වෙළෙදාම සම්පූර්ණයෙන්ම පාලනයෙන් තොරව සිදුවන බවයි.

සමුළුව අමතමින් ඔහු කියා සිටියේ මේ ප්‍රශ්නයට වැඩි වැදගත් කමක් ලබා දී නැති බවයි.

මත් ද්‍රව්‍ය ජාවාරම, අවි ජාවාරම, මිනිස් ජාවාරම තරම් තර්ජනයක් නැති ප්‍රශ්නයක් ලෙසට මේ දෙස බලන නිසා අපරාධ කල්ලිවලට එය ඉහල ආදායම් ලැබෙන ව්‍යාපාරයක් බවට පත්ව ඇති බවයි ඔහු පැවසුවේ.

එසේම ජාවාරම් කරුවන් එය එතරම් අවදානමක් ඇති දෙයක් ලෙසට නොසලකන බවත් මහාචාර්ය ජොනතන් බෙයිලි ප්‍රකාශ කළේය.

වන සත්ව දඩයම මෑත කාලයේ දී විශාල වශයෙන් ඉහල ගොස් තිබේ.

ඉහල අදායමක්

සෑම වසරකම ඉන් උපයන ආදායම ඩොලර් බිලියන දොළහක් පමණ වන බවටයි ගණන් බලා ඇත්තේ.

දෙදහස් හත වසරේ දී දකුණු අප්‍රිකාවේ රයිනෝසිරස් සතුන් දහතුන් දෙනකු මරා ඔවුන්ගේ අං ලබාගෙන ඇති අතර දෙදහස් දහ තුන වසරේ දී මරා දැමූ සංඛ්‍යාව එක් දහස් හතර දක්වා ඉහල ගොස් තිබේ.

ගජ මුතු කිලෝවක මිල ඩොලර් හැට පන් දහස දක්වා ඉහළ ගොස් ඇති අතර ජාත්‍යන්තර පරිසරය සුරැකීමේ සංගමයට අනුව දෙදහස් දොළහ වසරේ දී දකුණු අප්‍රිකාවේ මරා දැමූ අලි ඇතුන්ගේ ගණන විසි දහසක්.

ෆයිසාල් සුවෙන්ජිට් (Faisal Chuvenjit) තායිලන්තයේ ස්වර්ණභූමි ගුවන් තොටුපල රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් වරයායි.

ඔහු පවසන ආකාරයට බොහෝ රයිනෝසිරස් අං මෙන්ම ගජ මුතු ද රැගෙන යන්නේ චීනයට සහ වියට්නාමයට.

මේ රටවල විශේෂයෙන්ම රයිනෝසිරස් අං වලට විශාල ඉල්ලුමක් ඇති බවත් ඒවායින් පිළිකා රෝගය සුව කළ හැකි බවට චීන සහ වියට්නාම් ජනතාවගේ විශ්වාසයක් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එසේම ඒවායින් වාජීකරන සකස් කර පානය කිරීමටත් එම ජනතාව කැමැත්තක් දක්වන නිසා ඒවාට ඇති ඉල්ලුම ඉතා ඉහල බවත් ඔහු ප්‍රකාශ කළේය.

ගජ මුතු පරිහරණය

ගජ මුතු පරිහරණය කරන රටවලට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විශාල බලපෑමක් ඇති කළ යුතු බවයි කෙන්යාවේ අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ෆ්රෑන්ක් පෝප් (Frank Pope) ප්‍රකාශ කළේ.

ජාත්‍යන්තර වශයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට බලපැමක් එල්ල කොට මෙම නීති විරෝධී ජාවාරම වැටලීමට පියවර ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ගජ මුතු තහනම් භාණ්ඩයක් ලෙස නම් කළ යුතු බව පවසන ඔහු අලි ඇතුන් බේරා ගැනීම සඳහා අප්‍රිකානු රටවල් ගන්නා උත්සාහයට සහයෝගය දිය යුතු යයි පැවසුවේය.

ගජ මුතු මිල ඉහල නිසා ජාවාරම් කරුවන් ට අඳුරේ දී ඡායා හඳුනා ගැනීම පහසු කරන (night vision goggles) පවා මිලදී ගැනීමට හැකි ආදායමක් ඇති බවයි ඔහු පවසන්නේ.

වෙඩි හඬ නෑසෙන සයිලන්සර් පවා භාවිත කරන මේ ජාවාරම් කරුවන් ඔවුන්ගේ කටයුතුවලට නවීන උපකරණ යොදාගන්නා බවත් මේ නිසා ජාවාරම් කරුවන්ට එරෙහිව කෙරෙන මෙහෙයුම් වැඩි කිරීමට සිදුවී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

සතුන් හඳුනා ගැනීමට අවශ්‍ය උපකරණ සවි කොට ඇති බව පැවසූ කෙන්යාවේ අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ෆ්රෑන්ක් පෝප් සංරක්ෂණ වැඩ පිලිවෙලේදී නියමුවන් නොමැති ගුවන් යානා යොදා ගැනීමට ඇති හැකියාව ද සොයා බලන බවත් සඳහන් කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.