මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ආගමික ගැටුම් දරුණු වෙයි

  • 9 පෙබරවාරි 2014
පසුගිය වසරේ ආරම්භ වූ කැරැල්ලෙන් පසු පැතිර යන මුස්ලිම්-ක්‍රිස්තියානි ගැටුම්

මධ්‍යම අප්‍රිකානු ජනරජයෙන් සියලු ම මුස්ලිම් ජනතාව පලා යන දිනය වැඩි ඈතක නොවන බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බීබීසීයට කියා සිටියේය.

රටේ මුස්ලිම් ජනතාව පශු සම්පත් ඇතුළු බොහෝ ව්‍යාපාරවල හිමිකරුවන් බැවින්, ඔවුන් පලා ගිය හොත් එය රටේ ආර්ථිකයට දරුණු අන්දමින් බලපානු ඇති බවයි, හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ අධ්‍යක්ෂ පීටර් බවුකාර්ට් කියා සිටියේ.

“බන්ගුයි පළාතේ මුස්ලිම් ජනතාව ඉන්න පැත්තකින් විශාල පිපිරුම් සද්දයක් ඇහිලා අපි ඇහැරුනා. අපි දුවල ගියා මොකද වුනේ කියල බලන්න. මුස්ලිම් කෙනෙකුගේ සිරුරක් මහ පාරේ දැවෙමින් තියෙනව අපි දැක්ක. සන්නද්ධ මුස්ලිම් කණ්ඩායම් ඊට කලින්දා රෑ, මේ පළාතේ හය දෙනෙක් මරා දාපු බවත්, ඊට පස්සේ ඒ අයගෙන් එක් කෙනෙක් අල්ල ගෙන එයාගේ සිරුර පිච්චුව බවත් ඒ පළාතේ අය අපිට කිව්ව” අධ්‍යක්ෂ පීටර් බවුකාර්ට් තවදුරටත් කියා සිටියේය.

පසුගිය වසරේ ආරම්භ වූ කැරැල්ලෙන් අනතුරුව මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මුස්ලිම්වරුන් සහ ක්‍රිස්තියානි භක්තිකයන් අතර බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර යමින් පවතී.

ඥාතීන් වියෝ වී හඬා වැලපෙන කතුන්
ප්‍රංශ හමුදාවේ රැකවරණ
ගිනිබත් කළ නිවෙස්