ඔස්ට්‍රේලියාවේ සරණාගත ළමුන් ගැන පරීක්ෂණයක්

  • 3 පෙබරවාරි 2014
'ඔස්ට්‍රේලියාවේ කඳවුරු ගත දේශපාලන රැකවරණ පතන්නන් අතර ළමුන් දහසක්'

ඔස්ට්‍රේලියාවේ සරණාගත කඳවුරු තුළ සිටින ළමුන් පිළිබඳව සොයා බැලෙන පරීක්ෂණයක් ආරම්භ කළ බව ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම නිවේදනය කළේය.

විශේෂයෙන්ම මෙම ළමුන්ගේ ශුභ සාධනය සහ සෞඛ්‍යය ඉලක්ක කර ගනිමින් පරීක්ෂණය පැවැත්වෙන බවයි කොමිසමේ සභාපතිනී මහචාරිනී ජිලියන් ට්‍රිග්ස් ප්‍රකාශ කළේ.

දේශපාලන රැකවරණ පතා පැමිණ ඔස්ට්‍රේලියාවේ කඳවුරු තුල රඳවා සිටින්නන් අතර දහසකට වැඩි දරුවන් පිරිසක් ඉන්නා බවයි ඕස්ට්‍රේලියාවේ මානව හිමිකම් කොමිසම පවසන්නේ.

ඕස්ට්‍රේලියාව තුලත් ඉන් පිටත නාවුරු වැනි දුපත් වලත් ඒ දරුවන් සිර කොට තැබීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් මානව හිමිකම් ආයතන වලත් බරපතල දෝෂ දර්ශනයට ලක්වී තිබේ.

ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ය ABC ඕස්ට්‍රේලියානු ගුවන් විදුලියට කියා තිබුනේ සිරගත දරුවන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ ව සොයා බැලීම තමන්ගේ ප්‍රධාන අරමුණක් බවයි.

ශ්‍රී ලංකාවෙන්

Gillian Triggs

මේ දරුවන්ගේ ඔබ මොබ යාමේ අයිතිය ට අවහිර කොට ඇති බවයි බවයි ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම පවසන්නේ. දේශපාලන රැකවල් පතන අය අතරින් වැඩි දෙනකු එරටට එන්නේ ඇෆ්ගනිස්තානයෙන්, ලංකාවෙන්, ඉරානයෙන් සහ ඉරාකයෙන්.

2004 දී කොමිසම නිකුත් කළ පළමු වාර්තාවෙන් කියවුනේ දේශපාලන රැකවල් සොයා එන අයගේ දරුවන් රඳවා තැබීම මානව හිමිකම් සම්බන්ධ ඕස්ට්‍රේලියාවේ වගකීම පැහැර හැරීමක් බව.

වර්තමාන තත්වය විමසා බැලීමට කොමිසම දරන උත්සාහයට බලධාරීන් නිසි සහයෝගයක් ලබා නොදෙන බවයි මහාචාරිනී ජිලියාන් ට්‍රිග්ස් පවසන්නේ.

බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම ළමුන්ට නවාතැන් සපයා ඇති නමුත් ළමා අයිතිවාසිකම් පිලිබඳ ලෝක ප්‍රඥප්තියට අනුකූලව ඒවා පවතීද යන්න සොයා බැලීමට ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමට අවශ්‍ය වී තිබේ.

ජාත්‍යන්තර නීති

“මට දැන ගන්නට අවශ්‍ය විස්තර හොයා ගන්න පහුගිය මාස කීහිපය තිස්සේ දරපු උත්සාහයට ලැබුණු සහාය ඉතාම අවමයි කියලා කියන්න වෙනවා,” යි මහාචාරිනී ට්‍රිග්ස් පැවසුවාය.

අමාත්‍ය ස්කොට් මොරිසන්

දරුවකුගේ අනන්‍යතාව සහ සෞඛ්‍ය සම්පන්න භාවය තහවුරු කර ගන්න ට සුදුසු තරම් කල් දරුවන් රඳවා තබා ගැනීම ගැන කොමිසමේ විරෝධයක් නැති බව ද මහාචාර්ය ට්‍රිග්ස් ප්‍රකාශ කළාය.

“ඒත් අපේ සැලකිල්ලට යොමු වෙලා තියෙන කාරණය තමයි, මාස තුන හතර ඉක්මවා මාස හය, දොළහ, පහළොව දක්වා කල් යන කොට ඒක ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් වීමේ ඉඩකඩ පැවතීම.”

කෙසේ වෙතත්, සංක්‍රමණික කටයුතු භාර අමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නේ නිලධාරීන් පරීක්ෂණයට සහාය දෙනු ඇති බවයි. මහාචරිනී ට්‍රිග්ස්ගේ අපේක්ෂාව මේ වසර අවසන් වීමට පෙරාතුව පරීක්ෂණය හමාර කිරීමයි.