නීතිය බිඳ වැටීම ප්‍රජාතන්ත්‍රවාදයේ පිරිහීමයි - එක්සත් ජනපදය

අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 1 සෙනසුරාදා - 18:04 GMT

නිෂා බිස්වාල්

උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ප්‍රමාණවත් වේගයකින් ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකාව කටයුතු නොකිරීම හේතුවෙන් තම ඉවසීම අඩු වෙමින් ඇතැයි ඇමරිකා එක්සත් ජනපදය කියා සිටී.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව භාර සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් තම ශ්‍රී ලංකා සංචාරය හමාර කරමින් කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ,යුක්තිය,සාධාරණත්වය, සහ වග වීම් පිළිබඳ ව ප්‍රමාණවත් ප්‍රගතියක් නොමැති වීම පිළිබඳ ව තමන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ වග කිව යුතු නිලධාරීන්ට දන්වා සිටි බවයි.

“මානව හිමිකම් තත්ත්වය නරක අතට හැරීම ගැන අපේ අවධානය යොමු වී තියෙනවා.ඒ වගේම ආගමික සුළුතර කොටස් වලට එල්ල වන ප්‍රහාර,නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම ,දූෂණය වැඩි වීම සහ දඬුවම් ලැබීමකින් තොර ව වැරදි සිදු කිරීමට ඉඩ දී තිබීම යන කරුණු ගැනත් අවධානය යොමු වී තිබෙනවා. මේ සියලු කරුණු ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිරිහීමට මග පාදනවා.” නිෂා බිස්වාල් ප්‍රකාශ කළාය.

ප්‍රජාතන්ත්‍රවාදයේ පිරිහීම

නිෂා බිස්වාල් විදේශ ඇමති ජී.එල්.පීරිස් හමු වී

ශ්‍රී ලංකාවට ලඟා වූ විදේශීය නිලධාරීන් හමු වී කරුණු කියා සිටි ජනතාව බිය ගැන්වීමට ලක් කළ අවස්ථා තමන්ට වාර්තා වී ඇති අතර,එය ඉතා බැරෑරුම් එසේම අනුමත කළ නො හැකි තත්වයක් බවයි, නිෂා බිස්වාල් වැඩිදුරටත් කියා සිටියේ.

ආසියාව ගෝලීය ආර්ථිකය තුළ ප්‍රධාන පෙළේ භූමිකාවක් අත්පත් කර ගනිමින් සිටින මොහොතක ශ්‍රී ලංකාවත් එහි කොටස් කරුවෙකු වනු දැකීම තම අභිමතාර්ථය බව සඳහන් කළ නිෂා බිස්වාල්, කෙසේ වෙතත් සාධාරණත්වය, සංහිඳියාව සහ වග වීමෙන් තොරව ශ්‍රී ලංකාවේ ජනතාවට කල් පවත්නා සාමයක් සහ සම අවස්ථා තහවුරු කෙරෙන සෞභාග්‍යයක් අත් පත් කර ගත නො හැකි බවයි අවධාරණය කළේ.

ඇමරිකා එක්සත් ජනපදය , මාර්තු මාසයේ ,ජිනීවාහි රැස්වෙන එක්සත් ජාතීන් ගේ මානව හිම්කම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට පියවර ගනිමින් සිටී.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.