මෝර ප්‍රහාරයකින් බේරුණ නවසීලන්ත දොස්තර

28 ජනවාරි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:41 GMT

මුහුදේදී සිය පාදය සපා කෑ මෝරෙකුට පිහි පහරක් එල්ල කොට, කකුලේ තුවාලයට තමන් විසින්ම මැහුම් දමා, ඉන් අනතුරුව බීර වීදුරුවක් තොල ගෑමට තැබෑරුමට ගිය බව නවසීලන්තයේ වෛද්‍යවරයෙක් පවසයි.

දකුණු නවසීලන්තයේ කොලක් බොක්කේ මාළු බාමින් සිටි අතරවාරයේ එක්වරම කිසිවකු සිය කකුල සපා කණු දැනුනු බවයි, විසි හතර හැවිරිදි ජේම්ස් ග්‍රාන්ට් බීබීසීයට කියා සිටියේ.

හත් කරමල් මෝරකු ලෙස සැලකෙන මෝරාට පිහියෙන් ඇන, කකුලෙන් ලේ වැගිරෙද්දී වෙරළට පීනා ආ බවත්, සිය ප්‍රථමාධාර පෙට්ටිය භාවිත කොට වෙරළේදී කකුලට මැහුම් දමා ගත් බවත් ඔහු සඳහන් කළේය.

'දිගටම මාළු බානවා'

"හොඳම දේ තමයි, අන්තිමට මෝර මාව අත් හැරලා දාපු එක. ඒක හරියට ධීවරයන්ගේ ජනකථාවක් වගේ," යනුවෙන්ද ඔහු සිනහසෙමින් කියා සිටියේය.

සිය මිතුරු වෛද්‍යවරයකු පාදයට තවත් මැහුම් කිහිපයක් දැමූ බවත්, ඉන් අනතුරුව මධු විතක් තොලගෑමට තැබෑරුමට ගිය බවත් ඔහු පැවසුවේ, සිදුවීම පිළිබඳව පළ වන මාධ්‍ය අවධානය පිළිබඳව විමතිය පළ කරමින්.

"නවසීලන්තයේ දකුණු වෙරළට ඔබ්බෙන් දූපත් කිට්ටුව මේ මෝරු ඉන්නවා. සාමාන්‍යයෙන් ඒ මෝරු වෙරළ කිට්ටුවට ඇවිල්ල මිනිස්සු පා කන්නේ නෑ. ඒත් එදා කාලගුණය එතරම් හොඳ නැති නිසා මම හිතන්නේ වැරදිලා ආපු මෝරෙක් වෙන්න ඕන."

මෝරා සපා කෑම හේතුවෙන් සිය විනෝදාංශය වන මාළු බෑම නොනවත්වන බවද වෛද්‍ය ජේම්ස් ග්‍රාන්ට් බීබීසීයට කියා සිටියේය.