මහ බැංකුව මූල්‍ය ආයතන සීමා කිරීමේ උත්සාහයක

  • 23 ජනවාරි 2014

ශ්‍රී ලංකාවේ දැනට පවතින බැංකු නොවන මූල්‍ය ආයතන සංඛ්‍යාව අඩු කිරීමටත් කුඩා බැංකු අනිකුත් බැංකු සමග ඒකාබද්ධ කිරීමටත් පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශක්තිමත් සහ ක්‍රියාශීලී මූල්‍ය ආයතනවලින් සමන්විත ස්ථාවර මූල්‍ය අංශයක් නිර්මාණය කර ගැනීමට මෙම පියවර ගන්නා බවයි මහ බැංකුව පවසන්නේ.

මෙම සැලැස්ම යටතේ බැංකු නො වන මූල්‍ය ආයතන සංඛ්‍යාව පනස් අටක සිට විස්සක් දක්වා අඩු කෙරෙයි.

2016 වසර වන විට ඩොලර් බිලියන සීයක ආර්ථිකයක් ගොඩනැගීමේ ශ්‍රී ලංකාවේ ආර්ථික අභිමතාර්ථ සපුරා ගැනීමට ශක්තිමත් මූල්‍ය ආයතනවලින් සමන්විත ස්ථාවර මූල්‍ය අංශයක් නිර්මාණය කර ගැනීම සඳහා එවැනි තීරණයක් ගත් බවයි, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ.

"ඉතා කුඩා සමාගම් වලට තියෙන ප්‍රශ්නයක් තමයි, ඒ සමාගම් වලට යම් කම්පනයක් විඳ ගැනීමට තියෙන ශක්තිය අඩු කම. අපේ මතය ඒ තත්වය වෙනස් කර ඒ වෙනුවට ශක්තිමත් සමාගම් මේ රටේ ගොඩනැගීම" යයි මහ බැංකු අධිපතිවරයා පවසයි.

බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ සැලැස්ම පිළිබඳව ඊට අදාළ පාර්ශව ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ පසුගිය සතියේ සාකච්ඡා පවත්වා ඇත.

සිදු කිරීමට යන ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය යටතේ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවලින් ඒවායේ සේවක මණ්ඩල කප්පාදු කිරීමක් සිදු නො කරන ලෙස මහ බැංකුව එම ආයතනවලින් ඉල්ලීමක් ද සිදු කර ඇත.

විපක්ෂයේ ප්‍රතිචාරය

ආචාර්ය හර්ෂ ද සිල්වා

ඉහත කී සැලැස්ම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ, දැනටමත් කඩා වැටී ඇති මූල්‍ය ක්‍ෂේත්‍රය ගොඩ ගැනීම මහ බැංකුවේ අරමුණ නොවන බවයි. ජනතාවට මුදල් වංචා කල මූල්‍ය ආයතන ප්‍රධානීන් බේරා ගැනීමට මහ බැංකුව උත්සාහ කරන බවටයි එක්සත් ජාතික පක්‍ෂය චෝදනා කරන්නේ.

"මහ බැංකුව කියන්නේ, මේ මූල්‍ය ආයතන කඩා වැටෙන්නේ නැහැ. ඒවා එකතු කරනවා කියලයි. ඇයි මේ වගේ එකතුවක් කරන්න හදන්නේ? ඒවායේ අධ්‍යක්ෂවරුන්ට, ඒවායේ අයිතිකාරයන්ට අවශ්‍ය විදිහට මේකෙන් පැනලා යන්නයි මේ පාර කපන්නේ” එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

මේ වන විටත් බිඳ වැටී ඇති CIFL වැනි ආයතනවල සිදු වූ වංචා දැන දැනත් මහ බැංකුව නිහඬව සිටි බව පවසන ආචාර්ය හර්ෂ ද සිල්වා, දැන් සිදු කිරීමට යන ඒකාබද්ධ කිරීමේ වැඩ පිළිවෙළින් සිදු වන්නේ තැන්පත්කරුවන් ආරක්‍ෂා කිරීම නොව ඒම වංචාවලට වගකිව යුත්තන් ආරක්ෂා කිරීම බවත් පෙන්වා දෙයි.

මහ බැංකු ආරංචි මාර්ග අනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මූල්‍ය සංගම් වලින් දහයක් පමණ මේ වන විට දැඩි මූල්‍ය ගැටලුවක ට මුහුණ පා සිටියි.