රවීන්ද්‍ර ක්‍රිෂ්ණ පිල්ලේගේ අවසන් ඉල්ලීම

  • 22 ජනවාරි 2014

අට අවුරුද්දක් එක්සත් අරාබි එමීරයේ සිරගත කොට මරණ දඬුවමට යටත් කෙරුණ රවීන්ද්‍රන් ක්‍රිෂ්ණ පිල්ලේ ගේ ජීවිතය බේරා දීමට ශ්‍රී ලංකා රජයේ බලධාරීන් ප්‍රමාණවත් පියවර නො ගත් බව ඔහුගේ සහෝදරයා ප්‍රකාශ කරයි.

චෙන්කලඩි යේ දී බීබීසීයට අදහස් දක්වමින් විජේන්ද්‍රන් ක්‍රිෂ්ණ පිල්ලේ කියා සිටියේ සිය සොයුරාගේ සිරුර හෝ ගෙන්වා ගැනීමට තමන්ට නො හැකි වූ බවයි.

මරා දැමුණ රවීන්ද්‍රන්ගේ ඥාතීන් නගන චෝදනා සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ තාක් ප්‍රතිචාරයක් දක්වා නැත.

“විසි වෙනි දා දඬුවම ක්‍රියාත්මක කරන බව දැන ගෙනත් තානාපති කාර්යාලය ඒ ගැන අපට දැනුම් දුන්නේ නැහැ. දැන් සිරුර දෙන්න බැහැ කියනවා. අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා සිරුර ගෙන්වා ගැනීමට උත්සාහ කළා. ගන්න. වියදම යැවුවා නම් සිරුර එවනවා කියලයි අද ආරංචි වුනේ,” විජේන්ද්‍රන් ක්‍රිෂ්ණ පිල්ලේ කියා සිටී.

දෙමව්පියන් බලාගන්න

මරා දමනු ලැබීමට පෙර දිනයේ රවීන්ද්‍රන් සාජා හි මධ්‍යම බන්ධනාගාරයට ගෙන යන ලද බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව තමා බේරා ගන්නා මෙන් මින් දින දෙකකට පෙර කතා කළ තම සහෝදරයා ඉල්ලීමක් කළ බවත් විජේන්ද්‍රන් ක්‍රිෂ්ණ පිල්ලේ පවසයි.

“අම්මයි තාත්තයි හොඳින් බලා ගන්න කියල අයියා කිව්වා. මම කිව්වා ,දෙවියෝ විශ්වාස කරන්න. නරක දෙයක් වෙන එකක් නැහැ කියල. නමුත් එයා මරලා,” විජේන්ද්‍රන් ක්‍රිෂ්ණ පිල්ලේ පවසන්නේ සිය සහෝදරයාගේ අවසන් වචන සිහිපත් කරමින්.