ප්‍රියංකා චොප්රාගෙන් ගීත තැටියක්

  • 22 ජනවාරි 2014
'මම සිනමාවට එනකොට, මම හිතන්නේ මම මොනවත් දැන ගෙන හිටියේ නැහැ'

ලන්ඩනයේ පිහිටි 'Guess' විලාසිතා සාප්පුවේ නියෝජිතවරියක ලෙස මෑතදී පත් කරනු ලැබූ බොලිවුඩ් තිරයේ ජනප්‍රිය තාරුකාවක වන ප්‍රියංකා චොප්රා ලන්ඩනයට පැමිණ සිටියේ ‘I can’t make you love me’ නම් ඇගේ පළමු ගීත තැටියේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන්.

"මේක මගේ මුල්ම ගීත තැටිය. ඒක ගැන මම බොහොම ප්‍රහර්ෂයට පත් වෙලා ඉන්නේ," යනුවෙන් ඇය කියා සිටියේ බීබීසී ආසියානු සේවයේ ශබ්නම් මහමුඩ් සමඟ සංවාදයකට එක් වෙමින්.

බොලිවුඩ් තාරුකාව රීජන්ට් වීදියට පැමිණි අවස්ථාවේ ඇය දැක ගැනීම පිණිස සිය ගණනක් සිනමා ලෝලීන් පොලිම් ගැසී සිටියේ, ලන්ඩනයේ මේ දිනවල පවතින දැඩි සීතලද නොතකමින්.

"ඒ වගේම පොඩි චකිතයක් තියෙනව. මොකද මේක මට බොහොම විශේෂ ගීතයක්. මේ සින්දුව මුලින්ම පටන් ගත්තේ මීට අවුරුදු ගණනාවකට කලින්. ඒක හරිම ලස්සන සින්දුවක්. මට ගායිකාවක් වෙන්න හිතුනේ මේ සින්දුව නිසා. ඉතින් මට ඒක මුළු ලෝකෙම එක්ක බෙදා ගන්න හිතුනා."

කාන්තා හිමිකම්

මුලින්ම ගීත ගායනයට පිවිසෙද්දී තිබූ අභියෝග කවරේදැයි යන්න ශබ්නම් මහමුඩ් ඇයට යොමු කළ ප්‍රශ්නයක්. මුලින්ම රංගනයට පිවිසුන අවස්ථාවට වඩා මේ අභියෝග වෙනස්ද?

'සංගීතය කියන්නේ ළමා කාලේ ඉඳලම මගේ ඇඟේ තිබුණු දෙයක්'

"මම සිනමාවට එනකොට, මම හිතන්නේ මම මොනවත් දැන ගෙන හිටියෙ නැහැ," ප්‍රියංකා චොප්රා පිළිතුරු දෙන්නේ සිනහ සෙමින්.

"මේක කරන්නේ කොහොමද? වගේ මට හැමදෙයක් ගැනම මුල ඉඳලම ඉගෙන ගන්න වුනා. ඒත් සංගීතය කියන්නේ ළමා කාලේ ඉඳලම මගේ ඇඟේ තිබුණු දෙයක්. මගේ තාත්ත සින්දු කිවුව. ඒ දවස්වල මම තාත්ත එක්ක ස්ටේජ් ඒකටත් ගියා."

මෝස්‌තර නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ප්‍රියංකා දැන් ගායන ක්ෂේත්‍රයටත් එක් වී සිටින්නීය. එමෙන්ම ඇය කාන්තා අයිතිවාසිකම් පිළිබඳ හඬ නඟන්නියක්. විශේෂයෙන්ම ඉන්දියාවේ බහුලව සිදු වන කනාතා කළල ගබ්සාව ප්‍රියංකා චොප්රාගේ දැඩි විවේචනයට ලක් වේ.

"ඒක හරිම සංවේදී මාතෘකාවක් ඒත් ඒක ඇත්තක්. මිනිස්සු තමන්ගේ හදවතට කතා කරලා කියන්න ඕනේ, 'මේත් දරුවෙක්' කියල. එච්චරයි," යනුවෙන්ද ප්‍රියංකා ශබ්නම් මහමුඩ් සමඟ කියා සිටියාය.

"ඒ දරුවටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඒ වගේම දැරිවියන්ට අධ්‍යාපනය ලබා දීමත්, ඔවුන් හොඳින් හදා වඩා ගැනීමත් ඉතාමත් වැදගත්. ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න මම විශේෂ පදනමක් පිහිටුවල තියෙනව."

ප්‍රියංකාගේ ගීත තැටිය සහ ඇයගේ අලුත්ම සිනමා පටය, ගුන්ඩේ, ලබන මාසයේ එලි දැක්වීමට නියමිතයි.