පේත්ත පිහිටෙන් මත විඳින ඩොල්ෆින්

  • 31 දෙසැම්බර් 2013

තීක්ෂණ සමුද්‍ර ජීවී විශේෂයක් සේ ගැනෙන ඩොල්ෆින්, මත්ස්‍ය විශේෂයක් වන පේත්තයා මුවේ රඳවා ගෙන උරමින් මත් සුවයක් විඳින බව අලුත්ම පර්යේෂණවලින් හෙළි වෙයි.

ඩොල්ෆින් මසුන්ට මේ වින්දනය ලබා දෙන්නේ පේත්තයා තම ආරක්ෂාව සඳහා යොදා ගන්නා සිරුරේ විෂ ද්‍රව්‍යයක්.

ඩොල්ෆින් ඉතාමත්ම බුද්ධිමත් මෙන්ම තමන් අවට ඇති දෑ පිලිබඳව විමසිල්ලෙන් පසුවන එමෙන් තමන්ට අසුවන බොහෝ දේ ගැන ගවේෂණය කරන්නට කැමති ක්ෂීර පායී විශේෂයක් බව බීබීසී නිෂ්පාදකයකු මෙන් ම සත්ව විද්‍යාඥයකු වන රොබ් පීලි (Rob Pilley) මේ අපූර්ව තොරතුරු විස්තර කරමින් ප්‍රකාශ කළේය.

විශේෂ කැමරා උපක්‍රම

විශේෂ කැමරා උපක්‍රම යොදා ගනිමින් කරන ලද අලුත්ම පර්යේෂණයකින් සොයා ගනු ලැබුවේ ඩොල්ෆින් මසුන් පේත්තයන් කෙරෙහි ලොකු උනන්දුවක් දක්වන බව.

මොසැම්බික් හි පිහිටි ගල්පර අතර සිටින පේත්තයන් හඹා යන ඩොල්ෆින් මසුන් තම පර්යේෂණයට ලක් කළ බවයි සත්ව විද්‍යාඥයකු වන රොබ් පීලි (Rob Pilley) පැවසුවේ.

තමන් පුළුල් ලෙස එහි දී දර්ශන පටිගත කළ බවත් ඩොල්ෆින් මසුන් ඉතා උවමනාවෙන් අවස්ථා කිහිපයකදීම පේත්ත මාළුවා සොයා යන අයුරු දැක ගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.

විශේෂ කැමරා උපක්‍රම

“පේත්තයා අල්ලා ගත් පසු ඩොල්ෆින් හිතා ගන්නත් බැරි විදිහට ඉතා ප්‍රවේශම් සහිතවයි හැසිරෙන්නේ. වෙනත් මාළුවෙකු ගොදුරක් කරගන්නා ආකාරයට නොවෙයි. ගල්පර අතරින් අල්ලා ගන්නා පේත්තයකු රැගෙන විත් මුලින්ම සෙල්ලම් කරමින් පසුව මතුපිටට ගෙන එනවා. ඉන් පසු ඩොල්ෆින් පිරිමි සතුන් කණ්ඩායමක් මාරුවෙන් මාරුවට පේත්තයා ඉතා මෘදූ ලෙස හපමින් ඔවුන් අතර හුවමාරු කර ගන්නව.”ඔහු සඳහන් කළේය.

පෙළඹ වීම

ඩොල්ෆින් මසුන් ජලය මතුපිට වැනී වැනී සිටින ආකාරය පසුව දැක ගැනීමට හැකිවුන බව පවසන සත්ව විද්‍යාඥ රොබ් පීලි (Rob Pilley) මේ සතුන් තමන්ගේම ජායාවන් දැකීමෙන් මෝහනයට පත්ව සිටින අයුරු වීඩියෝ දර්ශනවලින් දුටු විට විමතියට පත්වූ බව පැවසුවේය.

“අපි ඉතාම සමීප දසුන් පටිගත කළා. ඩොල්ෆින් පේත්තයා ව හපනවා. නමුත් තුවාල කරන්නේ නැහැ. ඉතා මෘදූ විදිහට මේක කරන්නේ. පේත්තයා ගෙ විවිධ විෂ තියෙනවා කියල අපි දන්නවා. එක විෂක් තියෙනවා ස්නායු වලට බලපාන. පේත්තයා මාළුවා මේවා පිට කරන්නේ උගේ ආරක්ෂාවට. ඉතින් ඩොල්ෆින් මසුන් කරන්නේ කොහොම හරි විෂ ද්‍රවයක් පිට කෙරෙන විදිහට පේත්තයා මාළුවා පොලඹවන එක. ඉතින් ඩොල්ෆින් මසුන් එම විෂ වලින් වින්දනයක් ලබනවා.” රොබ් පීලි (Rob Pilley) තම පර්යේෂණයෙන් හෙළි වූ තොරතුරු අනාවරණය කරමින් කියා සිටියේය.

වෙනත් ලෝකයක

පේත්තයා පසුව නිදහස් කළත් ඩොල්ෆින් දිගටම තම සතුට විඳිමින් සිටින බව දැක ගන්න ලැබුන බවයි සත්ව විද්‍යාඥයකු වන රොබ් පීලි (Rob Pilley) පැවසුවේ.

“එහාට මෙහාට වැනී වැනී මුහුණ උඩ අතට තබා ගෙන විනෝද වෙන්නේ වෙනත් ලෝකයක් සිටින ආකාරයට.” ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.