පූතින්ගේ දේශපාලන ප්‍රතිවාදියාට නිදහස

  • 20 දෙසැම්බර් 2013

දහ අවුරුද්දකට ආසන්න කාලයක් සිරගත කරනු ලැබ සිටි රුසියානු කෝටිපති මිහායිල් කදර්කොව්ස්කි ජනාධිපති සමාවක් ලැබ බන්ධනාගාරයෙන් පිට ව ගිය බව ක්‍රෙම්ලින් ආරංචි මාර්ගවලින් පැවසෙයි.

සිය පැරණි දේශපාලන ප්‍රතිවාදියාට සමාවක් පිරිනැමෙන නියෝගයකට මානවීය කරුණු සලකමින් ජනාධිපති ව්ලදිමීර් පූතින්, අත්සන් තැබූ බවයි, ක්‍රෙම්ලින් වාර්තා මගින් පැවසෙන්නේ.

සෝවියට් පාලන ක්‍රමය කඩා වැටීමෙන් අනතුරු වසර කීපය ඇතුළත මිහායිල් කදර්කොව්ස්කි මහා ධන කුවේරයෙක් බවට පත් වුනේ, ඔහුගේ යුකෝස්(Yukos) ඛනිජතෙල් සමාගම ඇතුළු ව්‍යාපාර මගිනුයි.

තෙල් කුවේරයා

දස වසරක ඉසර දඬුවම ගෙවමින්.

පළමුව තිරය පිටුපස සිටිමින් කටයුතු කළ කදර්කොව්ස්කි පසු කාලයෙහි විවෘතව ම නැගී සිටියේ පූතින්ගේ දේශපාලන ප්‍රතිවාදියකු හැටියටයි.

පූතින් පාලනය දෝෂ දර්ශනයට ලක් කරමින් ජනාධිපතිවරයාට අභියෝග කළ ධන කුවේරයා වංචා චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඊට වරදකරු කරනු ලැබයි සිරගත කරනු ලැබ සිටියේ.

බදු වංචා,ප්‍රෝඩා සහ නීතියට පටහැණි ව මුදල් රැස් කිරීමේ චෝදනා යටතේ කදර්කොව්ස්කි අත්අඩංගුවට ගනු ලැබුණේ 2003 වසරේයි.

2005 වසරේ ඔහුට අවුරුදු අටක සිර දඬුවමක් නියම කෙරුණ අතර, කළු සල්ලි ජාවාරමේ නිරත වීම ඇතුළු මූල්‍ය වංචා චෝදනාවන්ට කදර්කොව්ස්කි වැරදි කරු යයි විසින් 2010 දී යළිත් තීන්දු කරණු ලැබිණ.

රහස් ගිවිසුමක්?

කදර්කොව්ස්කි ආධාරකරුවෝ මොස්කව් අගනුවර උද්ඝෝෂණයේ.

සිරගත කරනු ලැබුන කදර්කොව්ස්කි නිදහස් ලැබීමට මාස අටක් පමණ කාලයක් තිබියදීයි ජනාධිපති පූතින්ගේ නියෝගයකින් මුදා හරිනු ලැබුනේ.

සෝචි ඔලිම්පික් හිම ක්‍රීඩා රුසියාවේ දී ආරම්භ කිරීමට නියමිතව තිබිය දී, මතු වෙමින් පවතින ජාත්‍යන්තර විරෝධය සමහන් කිරීම කදර්කොව්ස්කි මුදා හරිනු ලැබීමේ එක් හේතුවකැයි ඇතැම් විචාරකයෝ පවසති.

"අපි කරුණු කීපයක් සැලකිල්ලට ගන්න අවශ්‍යයි. ඔලිම්පික් හිම ක්‍රීඩා රුසියාවේ සෝචි නගරයේ ආරම්භ කිරීමට නියමිතව තිබීම.දෙවැන්න; මිහායිල් කදර්කොව්ස්කි ලබන අවුරුද්දේ,අගෝස්තු මාසයේ සිරෙන් නිදහස් වෙන්න නියමිතව සිටියදී හදිසියේ මුදා හරිනු ලැබීම ආදී කරුණු.” රුසියාවේ මාධ්‍යවේදියකු වන කොන්ස්තන්තීන් එගර්ට් පෙන්වා දෙයි.