කාල්ටන් ක්‍රීඩා සමාජයට බදු සහන දීම ප්‍රශ්න කෙරෙයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 19 බ්‍රහස්පතින්දා - 11:58 GMT

පෞද්ගලික ක්‍රීඩා සමාජයකට බදු සහන දීම දේශපාලන බලය අනුව සිදු වූ දෙයක් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

පෞද්ගලික ආයතනයක් පසුගිය සති අන්තයේ ‘කොළඹ රාත්‍රී ධාවන තරඟය’ නමින් පැවැත්වූ මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගාවලියට බදු සහන ලබා දීම නීති විරෝධී බව කොළඹ මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති, වත්මන් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාත් සාලි පෙන්වා දෙයි.

බස්නාහිර පළාත් සභාවේ මහ ඇමතිවරයා විසින් ගනු ලැබුණ බදු සහන තීරණය නිසා කොළඹ නගරයේ දුගී ජනතාවට සේවය කිරීම සඳහා කොළඹ මහ නගර සභාවට හිමි විය යුතු ව තිබුණ විශාල මුදලක් පෞද්ගලික ආයතනයකට හිමි වුන බවයි අසාත් සාලි මන්ත්‍රීවරයා පවසන්නේ.

“මේ තරඟ සංවිධානය කරන්නේ කවුද? මේ සල්ලි යන්නේ කාට ද?” මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

පෞද්ගලික ආයතනයක් මගින් මෙහෙයවන ලද මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගාවලියකට බදු සහන ලබා දීම ගැන එක්සත් ජාතික පක්ෂය ද ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන්ගේ විරෝධය පළ කළ අතර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී, මුජිබර් රහ්මන් ඉහත කී ධාවන තරඟ හැදින්වූ යේ දේශපාලන බලය උඩ බලහත්කාරයෙන් පැවැත්වූ වැඩ පිළිවෙලක් හැටියටයි.

අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

“කොළඹ නගරයේ ඉන්න කිසිවකුට පිටකොටුවට එන්න බෑ, වෙළදාම් කරන අය සවස 1.30 වෙන කොට කඩ වහල දමල එතැනින් පිට වෙන්න ඕන, යුද හමුදාව තමයි වැලි කොට්ට කර ගැහුවේ, යුද හමුදාව සහ කාල්ටන් ආයතනය අතර ඇති සම්බන්ධය මොකක්ද? කාල්ටන් පෞද්ගලික අයිතිය සහිත ක්‍රීඩා සමාජයක්” බස්නාහිර පළාත් සභා මන්ත්‍රී, මුජිබර් රහ්මන් පෙන්වා දෙයි.

කාල්ටන් ක්‍රීඩා සමාජය මේ වසරේ ‘සිහිනය’ නමින් පැවැත්වූ වැඩ සටහනකට ද මෙලෙස බදු සහන දී ඇති බව පැවසූ මුජිබර් රහ්මන් පළාත් සභා මන්ත්‍රීවරයා, ඉදිරි සතියේ දී මෙම බදු සහනය ලබා දීම පිළිබඳ ව අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරන බවයි කියා සිටින්නේ.

“පැමිණිලි කරලා හොයන්න ඕන, මේ වගේ දේවල්වලට බදු සහන දෙන්නේ කුමක් නිසා ද කියල, මේ රථ වාහන තරඟාවලියට බදු සහන දෙන්න අවශ්‍ය නෑ, හේතුව ඒ සඳහා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ අනුග්‍රහය ලැබුණා” යයි මන්ත්‍රීවරයා පවසයි.

විපක්ෂය මෙලෙස බදු සහන ලබා දීමට විරෝධය පළ කළත් ශ්‍රී ලංකා ආණ්ඩුව පවසන්නේ, සංචාරක ව්‍යාපාරයට රුකුලක් වන නිසා එවැනි ධාවන තරඟවලට බදු සහන ලබා දුන් බවයි.

ලෝකයේ වෙනත් රටවලත් සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීම සඳහා මෙවැනි රථ ධාවන තරඟ පවත්වන බවත්, එමගින් වෙනත් ප්‍රතිලාභ ලැබෙන බවත් කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමති, කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.