වකුගඩු රෝගයෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ඉල්ලීමක්

  • 12 දෙසැම්බර් 2013
kidney

දැනට පුරා අවුරුදු විස්සක කාලයක් තිස්සේ වකුගඩු රෝගයට ගොදුරු වන ගොවීන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතී.

මේ විසි වසර තුල වකුගඩු රෝගයෙන් විසි දහසක් පමණ දෙනා මිය ගොස් ඇති අතර තවත් හාර ලක්ෂ පනස් දෙනෙක් වකුගඩු රෝගයට ගොදුරු වී සිටිති.

දේශීය විද්‍යාඥයින් පිරිසක් මෑතක දී තම පර්යේෂණ වලින් තහවුරු කර ගෙන ඇත්තේ පමණ ඉක්මවා රසායනික පොහොර මෙන්ම කෘෂි රසායනික භාවිතා කිරීමේ හේතුවෙන් කැඩ්මියම් සහ ආර්සනික් පසට එක්වී ඇති බවයි.

රාජ්‍ය නොවන සංවිධානයක් වන ස්වර්ණ හංස පදනම මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරමින් කියා සිටින්නේ එක්සත් ජාතීන් ගේ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මීට වගකිවයුතු බවත් බහු ජාතික සමාගම් වලට ප්‍රචාරය ලබා දීම සම්බන්ධයෙන් වගකීම භාර ගනිමින් පීඩාවට පත්වුවන්හට වන්දි ගෙවිය යුතු බවයි.

ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ චෝදනා අසත්‍ය බවත් තමන් කිසිවකුගේත් ව්‍යාපාරික අවශ්‍යතා වෙනු වෙන් පෙනී නොසිටින බවයි. කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශකයෙක් කියා සිටියේ අහිතකර රසායනික පොහොර සහ පළිබෝධ භාවිතා කිරීම වලක්වාලීම සඳහා ආණ්ඩුව හැකි සෑම දෙයක්ම කරන බවයි.

මීට මාස කීපයකට පෙර අහිතකර සේ සැලකෙන කෘෂි රසායනික තුන් වර්ගයක් ආනයනය කිරීම තහනම් කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා පැවසීය.

වකුගඩු රෝගයට බලපාන හේතුව තාමත් දැන ගන්නට නැති බවත් කඨින ජලය මීට හේතුවක් විය හැකි බව සැක කෙරෙන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

පැතිරීම

වකුගඩු රෝගය මුලින් උතුරු මැද පළාතේ පැතිරෙමින් තිබූ අතර දැන් දකුණු පලාතටත් වකුගඩු රෝගය පැතිරී යන බව වාර්තා වී තිබේ.

ස්වර්ණ හංස පදනමේ ප්‍රධානියා කියා සිටින්නේ දකුණු පළාතේ එක් ගම්මානයක වෙසෙන මුළු පවුල් ගණනින් අඩක්ම, වකුගඩු රෝගයට ගොදුරු වී සිටින බවයි.