නිවුන් දරුවන් හතර දෙනකු රඟ පාන චිත්‍රපටයක්

  • 11 දෙසැම්බර් 2013
හරිම චන්ඩි ටික. වයස අවුරුදු අටයි. නම් ටිකත් එක වගෙයි. එකම හැඩ රුව.

නිවුන් සොහොයුරන් දෙදෙනකු හෝ නිවුන් සොයුරියන් දෙදෙනකු රඟපාන චිත්‍රපට ඉන්දීය සිනමාව තුල අත් කරගන්නේ විශේෂ ස්ථානයක්.

නමුත් නිවුන් ගැහැණු දරුවන් හතර දෙනකු රඟ පාන දෙමළ චිත්‍රපටයක් ඉතිහාසයට එක්වීම ඊටත් වඩා සුවිශේෂ අවස්ථාවක්.

චිත්‍රපට අධ්‍යක්‍ෂ ගුරු රමේෂ් විසින් නිෂ්පාදනය කළ, "එන්න සත්තම් ඉන්ද නේරම්" චිත්‍රපටයේ රඟ පාන නිවුන් දරුවන් හතර දෙනා, ආර්ති, ආක්රිති,ආප්ති, සහ අක්ෂිති.

"එන්න සත්තම් ඉන්ද නේරම්" යන්නේ තේරුම ‘මේ වෙලාවේ ඇසෙන හඬ කුමක්ද’ යන්නයි.

අධ්‍යයන චාරිකාවක නිරතවන නිවුන් දරුවන් තිදෙනා සත්ව උද්‍යානයක් තුලදී අතරමංවීමෙන් පසු මුළු දවස පුරාම වෙහෙසෙන සත්ව උද්‍යානයේ භාරකරුවා විසින් අවසානයේදී ඔවුන් සොයා ගන්නා ආකාරය චිත්‍රපටයට පාදක වී තිබේ.

චිත්‍රපට අධ්‍යක්‍ෂ

“මට අවශ්‍යවුනා මගේ කථාවට නිවුන් දරුවන් හතර දෙනකු සොයා ගන්න. සොයා බැලුවිට නිවුන් දරුවන් හතර දෙනකු සිටින පවුලක් හමුවනා. චිත්‍රපට ලෝකයට අමුත්තන් වූ නිසා මේ පවුල ගැන මුලදී චකිතයක් ඇතිවුනා. ඇත්තටම ඔවුන් වැඩිපුර රුපවාහිනි නරඹන පිරිසකුත් නොවෙයි ,”චිත්‍රපට අධ්‍යක්‍ෂ ගුරු රමේෂ් පවසනවා.

“හරිම චන්ඩි ටික. වයස අවුරුදු අටයි. නම් ටිකත් එක වගෙයි. එකම හැඩ රුව. මීට කලින් කැමරාවක් ඉදිරියේ පෙනී ඉඳල නැහැ. මයික් එකකට කථා කරල නැහැ,”ඔහු පවසනවා.

එහෙත් දැනුමක් ලබා දීමෙන් පසු ඉතා උනන්දුවෙන් පටි ගත කිරීම් වලට ඔවුන් සහභාගී වන බවයි චිත්‍රපට අධ්‍යක්‍ෂ ගුරු රමේෂ් පවසන්නේ.

මේ දරුවන් ඉතා හොඳින් හැසිරෙන බව පවසන චිත්‍රපටයේ නිවුන් දරුවන්ගේ මව වන මානු සඳහන් කළේ ඔවුන් බුද්ධිමත් ප්‍රශ්න අසන බවයි.

දරුවන්ගේ මව

දරුවන්ගේ සැබෑ මව ශෘති පැවසුවේ ඔවුන්ගේ අධ්‍යාපනය පිළිබඳව තම අවධානය යොමුවී ඇති බවයි.

රඟ පෑම්වලට සහභාගිවන දින වල අතපසු වන පාසල් වැඩ කිරීමට ඇයගේ සහය ලැබේ.

"සියල්ලටම වඩා අධ්‍යාපනය මූලික වෙනවා. චිත්‍රපට ඇතුළු අන් සියල්ලම ඊට පසුව. ඒ නිසා අධ්‍යාපනය අතපසු වෙන්න මොන විදිහෙන් වත් ඉඩ දෙන්නේ නැහැ," ඇය පවසනවා.

මේ යෝජනාව ඉදිරිපත් වූ විට නිවුන් දරුවන්ගේ පියා විවේක් සහ මව ශෘති තරමක් අකමැත්තක් දැක්වුවත් පසුව පාසල් ගුරුවරුන් සමග සාකච්ජා කිරීමෙන් අනතුරුවයි දරුවන් රඟපෑම් වලට යොමු කළේ.