කතෝලික අනුශාසනා පත්‍රයෙන් ආණ්ඩුවට අවවාද

  • 11 දෙසැම්බර් 2013

ජනාධිපතිවරයාට පූර්ණ බලතල පැවරෙන වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අවශ්‍යතාවයන්ට නො ගැලපෙන නිසා ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය කරන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පෙන්වා දෙයි.

“අප දේශය සමගි සංධානය තුළින් යළි ගොඩ නැංවීමක් කරා” නමින් අනුශාසනා පත්‍රයක් එළිදැක්වීම මගිනුයි, කතෝලික සභාව එම අදහස් පළ කරන්නේ.

කතෝලික රදගුරු සම්මේලනය අවසන් වරට මෙලෙස අනුශාසනා පත්‍රයක් ඉදිරිපත් කලේ 1984 වසරේයි.

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රශ්න පිළිබඳව හා රට යන මග පිළිබඳ ව කතෝලික ජනතාව හා රටේ සෙසු පොදු ජනතාව දැනුවත් කිරීම සිය අනුශාසනා පත්‍රය නිකුත් කිරීමේ අරමුණ බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති මැල්කම් රන්ජිත් හිමිපාණෝ එය ජන මාධ්‍යය වෙත පිළිගන්වමින් ප්‍රකාශ කළහ.

"මේ යන ගමන් මගේ අඩුපාඩු තියෙනවා, ඒ අඩුපාඩු හරිගස්සා ගෙන රට ඉදිරියට යා යුතු බවයි, අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. කිසිම කෙනෙකුට දෝෂාරෝපණය කිරීම මෙහි අරමුණ නොවෙයි.” අග රදගුරු මැල්කම් රන්ජිත් හිමිපාණෝ ප්‍රකාශ කළහ.

කරුණු හතළිස් දෙකක්

කතෝලික අනුශාසනා පත්‍රයට කරුණු හතළිස් දෙකක් ඇතුළත් වෙයි.

කරුණු 42 කින් යුත් මෙම අනුශාසනා පත්‍රය මගින්, විවිධත්වය තුළ ඒකත්වයේ වැදගත්කම, උතුරු නැගෙනහිර ප්‍රශ්නය,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිදු විය යුතු වෙනස්කම් , අධිකරණයේ ස්වාධීනත්වය, ස්වාධීන කොමිසන් සභා පත් කිරීම, මානව අයිතිවාසිකම් හා විවෘත ආර්ථිකය වැනි කරුණු පිළිබඳවයි, ශ්‍රී ලංකා කතෝලික රද ගුරු සම්මේලනය අදහස් දක්වන්නේ.

තිස් වසරක එල්.ටී.ටී.ඊ බිහිසුණු ක්‍රියාකාරකම් අවසන් කළත් උතුරේ දමිළ ජනසමාජය මුහුණ දෙන ගැටලුවලට සෑහීමකට පත් විය හැකි දේශපාලන විසඳුමක් ලැබී නැති බවයි, කතෝලික අනුශාසනා පත්‍රයේ සඳහන් වෙන්නේ.

යුද හමුදා සෙබළුන් විශාල ප්‍රමාණයක් උතුරේ රඳවා සිටීම, ඔවුන්ගේ පවුල් හා වෙනත් අය සඳහා නිවස ගොඩනැගීමට ඇති ඉඩකඩ නිසා ජනිත භීතියෙන් උතුරේ අස්ථාවර බවක් පවතින බවයි, කතෝලික අනුශාසනා පත්‍රය පෙන්වා දෙන්නේ.

උගත් පාඩම් සංහිඳියා නිර්දේශ

කොමිසන් සභා පිහිටිවීම තවත් ඉල්ලීමක්

"උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක නො කළොත් අපි ජාත්‍යන්තරය ඉදිරියේ බොරු කාරයන් බවට පත් වෙනවා. අපි පැහැදිලිව ම කියා සිටිනවා විදේශීය රටවලට අපේ රටේ ප්‍රශ්න වලට කරන්න එපා කියල, නමුත් එහෙම එපා කියල අපි අපේ ප්‍රශ්නය නො විසඳා සිටීම වරදක්" අග රදගුරු මැල්කම් රන්ජිත් හිමිපාණෝ කියා සිටිති.

“අපි කළ යුත්තේ කුමක්ද කියල විදේශිකයන් අපට කියන්න අවශ්‍ය නැහැ. අපි මෝඩයෝ රැලක් නොවෙයි. ඒත් අපි මේ ප්‍රශ්න නිරාකරණය කර ගත්තේ නැත්නම්, ඒකෙන් කෙරෙන්නේ විදේශ මැදිහත් වීමකට අපි ම දොරටු විවෘත කරන එකයි.” අග රදගුරු හිමියෝ අවධාරණය කරති.

මහනුවර රදගුරු වියානි ප්‍රනාන්දු හිමිපාණන් අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම අතින් තවත් ගැටළු තිබෙන බව පවසමින් ජන මාධ්‍ය නිදහස තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ.

"අපට තියෙන දැවෙන ප්‍රශ්න හැකි ඉක්මණින් නිදහස් කොමිෂන් සභා,එනම් මැතිවරණ, පොලිස්, අල්ලස් හා දූෂණ, මානව හිම්කම් ආදී කොමිසන් සභා ස්ථාපිත කිරීම.ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න නම් මේ කොමිසම් හැකි ඉක්මනින් පිහිටු විය යුතුයි" රදගුරු වියානි ප්‍රනාන්දු හිමිපාණෝ පවසති.

ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට එල්ල වෙමි න් පවතින විදේශ බලපෑම් පිළිබඳව කතෝලික සභාවේ මතය සංදේශය විමසූ විට ඊට පිළිතුරු දෙමින් අග රදගුරු මැල්කම් රන්ජිත් හිමිපාණන් කියා සිටියේ,ඒ ගැන විභාග කොට ප්‍රශ්නය නිරාකරණය කර ගත යුතු ව ඇති බවයි.