නාසි ඔලිම්පික් රන් පදක්කමක් ඩොලර් පහළොස් ලක්ෂයකට

  • 9 දෙසැම්බර් 2013
ජෙසී ඔවින්ස් ධාවන පථය ජය ගත්තේ නාසි බලාපොරොත්තු සුං කරමින්.

ඇඩොල්ෆ් හිටලර් පාලනය යටතේ 1936 දී ජර්මනියේ පැවැත්වුන බර්ලින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඇමෙරිකානු කළු ජාතික මලල ක්‍රීඩක ජෙසී ඔවින්ස් විසින් දිනා ගනු ලැබුන රන් පදක්කමක් ඩොලර් පහළොස් ලක්ෂයකට ආසන්න මුදලකට වෙන්දේසියේදී අලෙවි වූ බව වාර්තා වෙයි.

ඔවින්ස් විසින් බර්ලින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී දිනා ගත් රන් පදක්කම් හතරෙන් ඉතිරිව තිබුන එම එක ම රන් පදක්කම පසුගිය සෙනසුරාදා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුන වෙන්දේසියකදීයි ඉහත කී මුදලට විකිණී තිබෙන්නේ.

බර්ලින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ‘ආර්ය’උත්තමවාදය විජයග්‍රහණය කරන බවට හිට්ලර් කයිවාරු ගසා තිබුනත් ජෙසී ඔවින්ස් එම ක්‍රීඩා උළෙලට පැමිණියේ ජයග්‍රහණයේ දැවැන්ත විශ්වසනීයත්වයකින්.

අඳ ගොවියකුගේ පුතකු මෙන් ම ඇමෙරිකානු වහලකුගේ මුනුබුරකු වන ජෙසී ඔවින්ස්, බර්ලින් ඔලිම්පික් තරඟාවලියේදී රන් පදක්කම් හතරක් ම දිනා ගත්තේ නාසි මිථ්‍යාව සුණු විසුණු කරමින්.

බර්ලින් ඔලිම්පික් තරඟාවලියේ මීටර් 100,මීටර් 200,දුර පැනීම සහ මීටර් හාරසීය සහාය ධාවන තරඟය යන ඉසව් ජයග්‍රහණය කරමිනුයි ඔහු රන් පදක්කම් හතරක්ම දිනා ගත්තේ.