ඉතිහාසගත වෙළඳ සම්මුතියක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 7 සෙනසුරාදා - 13:15 GMT
WTO

දුප්පත් රටවලට සහන සැලසීම අරමුණයි

ලෝක වෙළඳ සංවිධානයේ සාමාජික රටවල් එකසිය හැටක වෙළඳ කටයුතු පිලිබඳ අමාත්‍යවරු එක්ව ලෝකයේ දුප්පත් ජාතීන්ට තමන්ගේ නිෂ්පාදන පහසුවෙන් අලෙවි කරගත හැකිවන නව සම්මුතියකට එළඹ තිබේ.

ඉන්දුනීසියාවේදී පැවතී මේ හමුවේදී ඇතිකරගත් මේ සම්මුතියේ පදනම ජාත්‍යන්තර වෙළඳාමේදී දේශ සීමා වන් අතර බලපැවැත්වෙන නීති, රීති හා රෙගුලාසි ලිහිල් කිරීමයි.

වඩා දුප්පත් රටවල් ආනයන හා අපනයන බදු වලින් නිදහස් කිරීමත් සම්මුතියේ එකඟතාවන් අතර පවතින්නක්.

ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක වෙළඳාමක් මේ මගින් ලෝක වෙළඳාමට එක්කළ හැකි බවයි ලෝක වෙළඳ සංවිධානය පවසන්නේ.

නමට අරුතක් එක්කළ සම්මුතියක්

එම සංවිධානයේ ප්‍රධානියා වන රොබර්ටෝ අසවේදෝ මෙම එකඟතාව හැඳින්වුයේ 1995 දී ආරම්භ කිරීමෙන් පසු තම සංවිධානය විසින් එකඟතාවයකට පැමිණි වඩාත්ම සර්වග්‍රාහී සම්මුතිය ලෙසටයි.

“ඉතිහාසයේ ප්‍රථම වතාවට සියළුම සාමාජික රටවල් එක්ව ලෝක වෙළඳ සංවිධානය නමැති අප සංවිධානයේ “ලෝක” යන විශේෂණයට සැබෑ අරුතක් එක්කර තිබෙනවා. මේ සම්මුතිය මගින් ලෝකය පුරා වෙසෙන සියළුම ජනතාවට ප්‍රතිලාභ අත්වෙනවා.” යනුවෙන් ඔහු පැවසීය.

නැගෙනහිර යුරෝපීය එකමුතුවේ වෙළඳ කොමසාරිස් කරෙල් ඩී ගූච් පැවසුවේ මීට පෙර හොන්කොන් හා ජිනීවා වල පැවති සමුළුවලදී මෙවැනි සම්මුතියකට එළඹීමට උත්සාහ කළ නමුත් අපොහොසත් වූ බවයි.

මෙවර ඇතිකරගත් සම්මුතිය විවිධාකාරයෙන් ලෝක වෙළඳාමේ වර්ධනයට හේතු වෙන බව ඔහුගේ අදහසයි.

ධනවත් රටවලට වාසි සලසන්නක්ද?

මෙය ධනවත් රටවල් වලට තමන්ගේ භාණ්ඩ වඩා පහසුවෙන් දුප්පත් රටවල් වෙත අපනයනය කිරීමට පහසුකම් සලසන්නක් බවට නැගී ඇති චෝදනාව කොමසාරිස් වරයා ප්‍රතික්ෂේප කළේය.

දියුණු රටවල රේගුවේදී සිදුවන පමාවීම් සඳහා දුප්පත් රටවල් විසින් ඉතා අධික මුදලක් වැයකරන අතර මේ ලිහිල් කිරීම මගින් මවුනට එම මුදල් ඉතිරි කර ගැනීමට හැකිවීම ද දුප්පත් රටවලට ලැබෙන වාසියක් බව පෙන්වා දුන්නේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.