ඩොලර් පහළොස් ලක්ෂයක ඩයනසෝර් ඇට සැකිල්ලක්

  • 27 නොවැම්බර් 2013

මෙයින් අවුරුදු ලක්ෂ පහළොවකට පමණ පෙර මිහිතලයේ සැරි සරමින් සිටි ඩයිනසෝර් යෝධ උරගයකුගේ ඇටසැකිල්ලක් එංගලන්තයේ බිලින්ග්ස්හර්ට්ස් (Billingshurst) නගරයේදී වෙන්දේසියේ විකිණීමට නියමිතව ඇත.

දිග බෙල්ලක් සහ වලිගයක් සහිත ශාක භක්ෂික එම ඩයිනසෝර් උරගයාගේ පොසීලගත ඇට සැකිල්ල බොහෝ දුරට අංග සම්පූර්ණ තත්වයකයි පවතින්නේ.

එම උරග අස්ථි පද්ධතියේ මුළු දිග මීටර් දාහතක්.

එම වෙන්දේසියේදී ඩයිනසෝර් ඇට සැකිල්ල ඩොලර් පන් ලක්ෂයකට අධික මුදලකට අලෙවි වනු ඇතැයි බලාපොරොත්තු පළ වෙමින් පවතී.

ඇට සැකිල්ල ගැහැණු ඩයිනසෝර් උරගයකුගේ යයි සැළකෙන අතර එය නම් කරනු ලැබ තිබෙන්නේ,’මිස්ටි’යනුවෙන්.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වයෝමින්’(Wyoming) ප්‍රාන්තයෙනුයි, එය හමු වී තිබෙන්නේ.

පෞද්ගලික ඉඩමකින් හමු වූවක් හෙයිනුයි, වෙන්දේසි කිරීමට නියමිත ඩයිනසෝර් උරග ඇට සැකිල්ල බ්‍රිතාන්‍යයට ගෙන ඒමට අවසර ලැබුණේ.