ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන ගැන මූලික සම්මුතියක්

  • 24 නොවැම්බර් 2013
'දශකයකට ආසන්න කාලයකට පසු පළමු වතාවට ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන අත් හිටවනු ලැබුවා'

ලෝක නායකයන් සමඟ දින හතරකට වැඩි කාලයක් ජිනීවා නුවර පැවති සාකච්ඡාවලින් අනතුරුව ඉරානය සිය න්‍යෂ්ඨික වැඩසටහන සම්බන්ධ මූලික එකඟතාවයකට පැමිණියේය.

දශකයකට ආසන්න කාලයක් ඇතුලත පළමු වතාවට ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන අත් හිටවනු ලැබූ බවයි, ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා කියා සිටියේ.

"අපි අලුතින් සම්බාධක පැනවීමෙන් වැළකී, සම්බාධක හේතුවෙන් ඉරානයට අහිමි වූ ආදායමින් කොටසක් ලබාගැනීමට ඉරාන රජයට අවසර දෙනවා. එසේ වුවත්, පුළුල් සම්බාධක රාමුව එසේම පවතින අතර, ඒවා ක්‍රියාත්මක කිරීම තදින්ම සිදු කැරෙනු ඇති. මේ හය මාසයක කාලය තුල ඉරානය තම වගකීම ඉෂ්ට නොකළොත්, අපි පීඩාව දැඩි කරනවා," යනුවෙන්ද ජනාධිපති ඔබාමා සඳහන් කළේය.

එම සම්මුතියට අනුව, න්‍යෂ්ඨික ආයුධ තැනීම සඳහා යොදා ගත හැකි ජව ගන්වන ලද යුරේනියම් සංචිත අඩු කිරීමට ඉරානය එකඟ වූ අතර එයට ප්‍රතිචාර වශයෙන් ඉරානයට එරෙහි ඇතැම් සම්බාධක ලිහිල් කිරීමට ලෝක නායකයෝ එකඟ වූහ.

'ඓතිහාසික අත්වැරැද්දක්'

තිරසාර එකඟතාවයක් ඇති කර ගැනීම පිණිස කාලය ලබා දීමේ අරමුණින් මෙම තාවකාලික සම්මුතිය මාස හයක කාලයකට බල පැවැත්වේ.

ඊශ්‍රායලයේ අගමැති නෙතනියාහු සම්මුතිය හඳුන්වන්නේ ඓතිහාසික අත්වැරැද්දක් ලෙසින්

යුරේනියම් ජව ගැන්වීමේ සිය රටේ අයිතිය එහිදී පිළි ගන්නා ලද බව ඉරානයේ විදේශ අමාත්‍ය මොහමඩ් ජවාඩ් සරීෆ් කියා සිටියේය.

කෙසේ නමුත් එවැනි එකඟත්වයක් ඇති නොවූ බවයි, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කරන්නේ.

රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් සම්මුතිය පිළිබඳව ප්‍රසාදය පළ කළ ඉරාන ජනාධිපති හසන් රවුහානි, කෙසේ නමුත් න්‍යෂ්ඨික ජව ගැන්වීමේ වැඩ සටහන් දිගටම ක්‍රියාත්මක වන බව සඳහන් කළේය.

"කවර අර්ථ නිරූපණ ලබා දුන්නත්, ඉරානය සතු ජව ගැන්වීමේ අයිතිය ගිවිසුමේ වගන්ති වලින් පිළිගෙන තිබෙනවා," බවයි ජනාධිපති රවුහානි සඳහන් කළේ.

'ඉරානය සතු ජව ගැන්වීමේ අයිතිය ගිවිසුමේ වගන්ති වලින් පිළිගෙන තිබෙනවා'

ඉරානයට න්‍යෂ්ඨික ආයුධ අවශ්‍ය නැති බව ඔහු යලිත් අවධාරණය කළේය. මෙම අන්තර්වාර සම්මුතිය ඉදිරි සාකච්ඡාවල ප්‍රගතියක් ඇති කර ගැනීමට මඟ පාදන බවයි, ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතොල්ලා කමේනි කියා සිටියේ.

එහෙත් ඊශ්‍රායලයේ අගමැති බෙන්යමින් නෙතනියාහු එම සම්මුතිය හඳුන්වා දුන්නේ ඓතිහාසික අත්වැරැද්දක් ලෙසින්.

ලෝකයේ භයානකම රාජ්‍යය, ලොව භයානකම ආයුධය ලබා ගැනීමේ ක්‍රියාදාමය තවත් පියවරක් ඉදිරියට තබා ඇති බව ඔහු කියා සිටියේය.

"ඊශ්‍රායලයේ විනාශය වෙනුවෙන් හඬ නගන රාජ්‍යයකට ඒ අරමුණ ඉටු කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සලසා ගැනීමට අපට ඉඩ දිය නොහැකියි. අපි ඉඩ දෙන්නෙත් නැහැ. ඊශ්‍රායලයට බොහෝ මිතුරන් සිටියත්, ඔවුන්ට අත් වැරැද්දක් සිදුවූ විට පැහැදිලි ලෙසත් විවෘතවත් ඒ ගැන කතා කිරීමට මම බැඳී ඉන්නවා. එකම යුදෙව් රාජ්යය ආරක්ෂා කර ගැනීම මගේ බරපතල වගකීමයි," යනුවෙන්ද අගමැති නෙතනියාහු සඳහන් කළේය.