දේශගුණ සමුළුවේ මත ගැටුම්

  • 23 නොවැම්බර් 2013
වෝර්සෝ සමුළුව පැවැත්වෙද්දී පරිසරය සුරකින මෙන් නැඟෙන හඬ

දේශගුණ විපර්යාස පිළිබඳ ‘වෝර්සෝ’සමුළුව ඊට සහභාගී වෙමින් සිටින නියෝජිතයන්ගේ වාද විවාද හමුවේ කලහකාරී මුහුණුවරක් ගනිමින් තවත් දවසකින් කල් ගිය බවයි වාර්තා වන්නේ.

සමුළුව පැවැත්වෙන්නේ,පෝලන්තයේ වෝර්සෝ අගනුවර ජාතික ක්‍රීඩාංගනයේ.

එවැනි තත්වයක් උදා වුනේ,සිකුරාදා රාත්‍රිය පුරා පැවැත්වුන සාකච්ඡා වලදී ගිවිසුමක් ඇති කර ගැනීමට සමුළුව අසමත් වීම හේතුවෙන්.

එක්සත් ජාතීන් විසින් සංවිධානය කරන ලද මෙම දේශ ගුණ සමුළුව,අපේක්ෂා කෙරුණ මට්ටමේ ගිවිසුමකට එළඹීමෙන් තොරව සිර වූ තත්වයකට පත් වී තිබෙන්නේ,කාබන් විෂ වායු පරිසරයට මුදා හරිනු ලැබීමේදී, එම විෂ වායු නිකුත් කිරීම වැඩි අනුපාතයකින් කප්පාදු කිරීම් සිදු කළ යුත්තේ පොහොසත් රටවල් විසින් ද නැත්නම් සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් ද යන කාරණය මුල් කර ගෙන උද්ගත වූ මතභේද හේතුවෙන්.

එම කාරණය මතු කරනු ලැබ තිබෙන්නේ චීනය සහ ඉන්දියාව විසින්.

තවත් ප්‍රයත්නයක්

සෙනසුරාදා සවස් කාලය වන විට ගිවිසුමක් ඇති කර ගනු ලැබීම සඳහා තවත් උත්සාහයක් දැරීම සමුළු නියෝජිතයන්ගේ බලාපොරොත්තුව වී තිබුණි.

එහෙත් ඉදිරිපත් ව ඇති නව යෝජනා නිශ්චිත ඉලක්ක මත සකස් වූවකට වඩා කිසිදු පැහැදිලි භාවයක් නොමැති උපදෙස් මාලාවක තත්වයේ පවතින බවයි, වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ.

පෝලන්තයෙන් ලැබෙන අලුත්ම වාර්තා මගින් පැවසුනේ, සාකච්ඡා පෙරට යමින් පවතින අතර,ගිවිසුමක් ඇතිකර ගැනීමේ උත්සාහයක් සඳහා සමුළු නියෝජිතයන් අවසන් මොහොතේ එකඟතාවයකට පැමිණි බවයි.