කෙනඩි ඝාතනයට වසර පනහයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 22 සිකුරාදා - 16:58 GMT

ඇමෙරිකා එක්සත් ජනපදයේ තිස් පස් වැනි ජනාධිපතිවරයා වූ ජෝන් එෆ් කෙනඩි ඝාතනය කිරීමේ පනස් වැනි සංවත්සරය මෙම නොවැම්බර් විසි දෙවෙනිදාට යෙදෙයි.

ඒ නිමිත්තෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ජාතික කොඩි අඩ කුඹු කොට ඇති අතර, රට පුරා මහජනතාව නිශ්ශබ්දතාවයෙන් සිටිමින් ඝාතනය කෙරුණ ජනාධිපතිවරයාට ගෞරවය දැක්වීමට ද නියමිතයි.

වොෂින්ටනයේ පැවැත්වෙන සමරු උත්සවයට ජනාධිපති බරක් ඔබාමා සහභාගි වන අතර, හිටපු ජනාධිපතිවරයාගේ ජන්ම භූමිය වන 'මැසචුසෙට්' ප්‍රාන්තයේ ද විශේෂ වැඩසටහනක් සංවිධානය කොට ඇත.

1963 නොවැම්බර් 22 දින,ජනාධිපති ජෝන් එෆ් කෙනඩිට වෙඩි තබා මරා දැමුණේ ටෙක්සාස්හි ‘ඩලස්’ නගරයේ දී.

ජනාධිපති කෙනඩිට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙන්නේ ලී හාර්වී ඔස්වල්ඩ් නමැත්තාටයි.

අද දිනය පුරාම සීනු නාද කරමින් හිටපු ජනාධිපති වරයාට බුහුමන් දැක්වීමට ‘ඩලස්’ නගරය පියවර ගෙන ඇත.

නිකිතා කෘෂෙෆ්

ලී හාර්වී ඔස්වල්ඩ්

ජෝන් එෆ් කෙනඩි ඝාතනය කෙරුණ වකවානුවේ සෝවියට් සංගමයේ නායකයා වූ නිකිතා කෘෂෙෆ් ගේ පුත්,සෙර්ගෙයි කෘෂේෆ් බීබීසියට අදහස් දක්වමින් කෙනඩි ඝාතනය කෙරුණු පුවත සිය පියාට අදහා ගත නොහැකි වූ බවයි සඳහන් කළේ.

“තාත්තා කලබලයට පත් වුනා. ඒ වගේම බොහොම දුක් වුනා. ඒක කලේ කවුද?මොන හේතුවක් නිසාද ? කියන එක තේරුම් ගන්න බැරි වුන නිසයි, එයා කලබලයට පත් වුනේ. මොකද ඒ ක්‍රියාව යුද වාදියකුගේ වැඩක් වෙන්න පුළුවන්. ඔවුන්ට යුද්ධයක් ආරම්භ කරන්න ඕන වුනා වෙන්න පුළුවන්” සෙර්ගෙයි කෘෂේෆ් පවසයි.

ජෝන් එෆ් කෙනඩි ඇමෙරිකාවේ ජනප්‍රියතම,එසේම ගරු බුහුමන් ලබන ජනාධිපතිවරුන් කීපදෙනා අතරින් එක අයකු ලෙසයි සැලකෙන්නේ.එහෙත් ඔහු බලයේ සිටියේ අවුරුදු තුනකටත් වඩා අඩු කාලයකි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.