වසර තිහක් වහලුන්ව සිටි ලන්ඩන් කාන්තාවෝ

  • 22 නොවැම්බර් 2013
‘ලැම්බත්’කලාපය එකිනෙකට ලංව පිහිටි නිවාස වලින් සමන්විත නාගරික පලාතක්

ජනාකීර්ණ ලන්ඩන් නගරයේ නිවාසයක පුරා වසර තිහක කාලයක් කාන්තාවන් තුන් දෙනකු වහල් භාවයෙන් තබා ගැනීමේ සිද්ධියක් අනාවරණය වී ඇත.

එම කාන්තාවන් තිදෙනා මුදා ගෙන ඇත්තේ දකුණු ලන්ඩනයේ නිවසකිනි.

කතුන් තිදෙනාගෙන් ළාබාල කාන්තාව ගේ වයස අවුරුදු තිහක් වෙයි.

එම කාන්තාවගේ මුළු ජීවිත කාලයම ගෙවී ඇත්තේ ඇය රඳවා සිටි නිවසේ සිරකාරියක ගේ මට්ටමිනි.

මේ කාන්තාවන් තිදෙනා නිදහස් කර ගැනුනේ “නිදහස”(Freedom) නම් පුණ්‍ය ආයතනයේ මැදිහත් වීමෙනි.

ලැම්බත් වහල් නිවස

එම පුණ්‍ය ආයතනයේ නිර්මාතෘ අනීතා ප්‍රේම් බීබීසි ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ, මුදා ගනු ලැබුන කාන්තාවන් තවමත් අසහනයෙන් පසු වෙන බවයි.

“ඒත් දැන් තත්වය යහපත් අතට හැරෙමින් පවතිනවා. මම ඒ කාන්තාවන් එක්ක සෑහෙන තරම් වෙලාවක් ගත කරනවා. බලාපොරොත්තු තැබිය හැකි අයුරින්-උපරිම මට්ටමේ ප්‍රගතියක් දකින්න ලැබෙනවා” අනීතා ප්‍රේම් පවසයි.

ඇය පවසන ආකාරයට නිවසක කොටු කර සිටි කාන්තාවන් සමඟ සම්බන්ධතා ගොඩ නඟා ගෙන තිබෙන්නේ දුරකතනය ඔස්සේයි. ඉන් අනතුරුවයි, ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම දියත් කරනු ලැබ තිබෙන්නේ.

“එක කාන්තාවක් අපේ දුරකථන අංකයකට කතා කරලා විස්තරේ කිව්වා. අපට තත්වයේ බරපතලකම තේරුණා. ඉතින්, අපි වහාම තොරතුරු හුවමාරුවක් පටන් අර ගෙන ඒ කාන්තාවන් බේරා ගෙන එතනින් පිටමන් කර ගන්න විධිය සැලසුම් කළා” අනීතා ප්‍රේම් වැඩි දුරටත් පැවසුවාය.

“පොලිසියත් මේ කාර්යයට සම්බන්ධ කර ගත්තා. කිසිවකු නැති වෙලාවක, ඒ කාන්තාවන් ගෙදරින් පිට වුනා. දැන් ඔවුන් ආරක්ෂා සහිතව ඉන්නවා. අනාගතය කොහොම වේවිද දන්නේ නැහැ.”

ඒ අනීතා ප්‍රේම්ගේ අදහසයි.

දකුණු ලන්ඩනයේ ‘ලැම්බත්’ සිට එම සිද්ධිය බීබීසි යට වාර්තා කරමින් ටොම් එසෙල්මන්ට් (Tom Esselmont) කියා සිටියේ කාන්තාවන් වහලුන් ලෙස සිර කර තබා සිටි කලාපය එකිනෙකට ලංව පිහිටි නිවාස වලින් සමන්විත නාගරික පලාතක් වන බවයි.

“විවිධ ජන වර්ග වලට අයත් දහස් ගණනක් ජනතාව ඒ පළාතේ ජීවත් වෙනවා. මේ පුවත අහපු සමහර අය පුදුමයට පත් වුනා” ටොම් එසෙල්මන්ට් වාර්තා කරයි.

ඉහත කී කාන්තාවන් තිදෙනා වහල් මෙහෙයේ යොදවා ගැනීමේ චෝදනා මත බ්‍රිතාන්‍ය ජාතිකයන් නොවන යුවළක් අත් අඩංගුවට ගනු ලැබ ඇති අතර, කාන්තාවන්ට පහර දීම ඇතුළු අතවර කිරීම පිළිබඳව පරීක්ෂණ පවත්වන බවයි, පොලිසිය පවසන්නේ.

වීසා උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ද අත්අඩංගුවට ගනු ලැබ සිටින යුවළට එරෙහිව තවත් පරීක්‍ෂණයක් පැවැත්වෙන බව ලන්ඩන් නාගරික පොලිසිය පවසයි.