මුල්ලිවයික්කාල් ස්මාරක බිඳ හෙළීමට එරෙහිව විරෝධතා ව්‍යාපාර

  • 13 නොවැම්බර් 2013
මෙම ස්මාරක පිහිටි භූමියෙන් කොටසක් බුල්ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් කඩා දමා ඇත.

ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් මරා දැමුණු දෙමළ වැසියන් සැමරීමට තමිල්නාඩුවේ තන්ජාවූරයේ ඉදි කොට විවෘත කැරුණු ‘මුල්ලිවයික්කාල්’ ස්මාරකයෙන් කොටසක් බලධාරීන් විසින් කඩා බිඳ දමනු ලැබිණි.

පොලිසිය හා මහාමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ, එම ස්මාරකයෙන් කොටසක් නීති විරෝධී ලෙස ඉදි කොට ඇති බවයි.

පොලිසිය විසින් ස්මාරකය බිඳ හෙළනු ලැබීම තමිල්නාඩුවේ විරෝධතා වලට ද හේතු වී ඇත.

බුල්ඩෝසර් යන්ත්‍ර සමග මුල්ලිවයික්කාල් ස්මාරකය වෙත පැමිණි පොලිසිය ඒ ඉදිරිපිට ඉදිකොට තිබූ තාප්පය බිඳ දමා පහන් කණු ඉවත් කොට ඈත.

උද්‍යානයත් පිටියත් ඇතුළු ස්මාරකයේ අනික් අඩ දැල් ගසා වෙන් කළ පොලිසිය එම භූමිය මහාමාර්ග දෙපාර්තමේන්තුවට අයත් බව දැක්වෙන පුවරු දෙකක් පිහිටුවා ඇත.

නැදුමාරන්

ස්මාරකය ඉදිකිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ ජගත් දෙමළ මුළුවේ නායක පී.නැදුමාරන් , බී බී සී තමිලොසෙයි වැඩ සටහනට කියා සිටියේ බලධාරීන්ගේ ක්‍රියාව නීති විරෝධී බවයි.

“අපි දිස්ත්‍රික්කයේ රජයේ ප්‍රධාන නිලධාරියාගෙන් අවසර අර ගෙනයි තිබුණේ උද්‍යානයක් හදන්න. ඊට පස්සේ ඒකට හුඟක් වියදම් දරල තියනවා. අපි ජාතික මහාමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ක එකඟතාවයකට ඇවිල්ලයි තිබුණේ. ඒක වෙනස් කරන්න නම් ඔවුන් ඒ ගැන කලින් දැනුම් දෙන්න අවශ්‍යයි. ඒ අය එහෙම දෙයක් කළේ නැහැ.” පී නැදුමාරන් පවසයි.

මුල්ලිවයික්කාල් ස්මාරකය සම්බන්ධයෙන් මහ ඇමැතිනි ජයලලිතා කටයුතු කළ ආකාරයෙන් ඇය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවක් පෙනී යන්නේ යයි පැවසු නැදුමාරන්, එක් අතකින් ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට සහාය පළ කරන ඇය ශුද්ධවූ ඉදිකිරීමක් සේ ගැනෙන යුද පීඩිතයන්ගේ ස්මාරකයක් බිඳ දැමීමටද පියවර ගෙන ඇති බවයි පෙන්වා දුන්නේ.