ඉන්දියාවේ සමුළු වර්ජනය 'රාජ්‍යතාන්ත්‍රික අත්වැරැද්දක්'

  • 11 නොවැම්බර් 2013
Indian PM
'ප්‍රාදේශීය පක්ෂවලට රටක විදේශ ප්‍රතිපත්තිය ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ දීම වැරදියි'

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව වර්ජනය කිරීමට ඉන්දීය අගමැති මන්මෝහන් සිං ගත් තීන්දුව බොහෝ ඉන්දීය මාධ්‍යවල දැඩි විවේචනයට ලක් වී තිබේ.

විශේෂයෙන්ම තමිල්නාඩුවේ දේශපාලන පක්ෂවලින් දිගින් දිගටම එල්ල වූ බලපෑම් හමුවේ සමුළුව වර්ජනය කිරීමට අගමැතිවරයා තීන්දු කළ බවයි, අගමැති කාර්යාලයේ අමාත්‍ය වී නාරායනස්වාමි බීබීසී දෙමළ සේවයට කියා සිටියේ.

ශ්‍රී ලංකාවාසී දෙමළ ජනතාවගේ මානව හිමිකම් දිගින් දිගටම උල්ලංඝනය කරමින් සිටින බවට ශ්‍රී ලංකා ආණ්ඩුවට චෝදනා කරන තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ රාජ්‍ය නායක සමුළුව සම්පූර්ණයෙන්ම වර්ජනය කරන මෙන් මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

'දුර්වල ආණ්ඩුවක්'

එහෙත් විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශීඩ් සමුළුවේදී තමන් නියෝජනය කරන බව අගමැතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලිපියකින් දැනුම් දුන්නේය.

අගමැති මන්මෝහන් සිං ගත් එම තීන්දුව දැඩි විවේචනයට ලක් කරන ඩෙකාන් හෙරල්ඩ් පුවත්පත එය විග්‍රහ කරන්නේ "බරපතල රාජ්‍යතාන්ත්‍රික අත්වැරැද්දක් ලෙසින්".

ප්‍රාදේශීය දේශපාලන පක්ෂවලට රටක විදේශ ප්‍රතිපත්තිය "ප්‍රාණ ඇපයට ගැනීමට" ඉඩ දීම සම්පූර්ණයෙන්ම වැරදි බව පුවත්පතේ මතයයි.

මැතිවරණයක් අභිමුව තිබියදී දුර්වල ආණ්ඩුවක් විසින් ගන්නා ලද ජනප්‍රියවාදී තීන්දුවක් ලෙස පවසමින් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අගමැතිවරයාගේ තීන්දුව දැඩි විවේචනයට ලක් කරයි.

ඉන්දීය ආණ්ඩුවේ තීන්දුව මගින් ශ්‍රී ලංකාව තවදුරටත් චීනය ඇතුළු අනෙක් කලාපීය බලවතුන් දෙසට තල්ලු කරනු ඇති බව මේ අතර තමිල්නාඩුවේ මූලස්ථානය පිහිටි ද හින්දු පුවත්පත පවසයි.