උතුර සංවර්ධනයට ඇමෙරිකානු ආධාර

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ඔක්තෝබර් 30 බදාදා - 15:28 GMT

යුද්ධය නිසා විපතට පත්ව සිටින උතුරු පළාතේ ජනතාව නගා සිටුවීමට දෙන ආධාර වැඩි කරන මෙන් මහ ඇමති සී.වී.විග්නේශ්වරන් තමාගෙන් ඉල්ලා සිටියේ යයි ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි,මිෂෙල් සිසොන් ප්‍රකාශ කළාය.

මහ ඇමති විග්නේශ්වරන් සමඟ යාපනයේදී පැය දෙකක පමණ කාලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව පැවැත්වුන මාධ්‍ය හමුවකදීයි, තානාපතිවරිය එම කරුණ ප්‍රකාශයට පත් කළේ.

උතුරු පළාතේ පවුල් පන්දහසකට පමණ දැනටමත් ඇමෙරිකානු ආධාර සැපයෙන නමුත් මහඇමතිවරයාගේ ඉල්ලීම පිළිබඳ ව අවධානය යොමු කරන බවයි තානාපතිවරිය කියා සිටියේ.

තවදුරටත් කරුණු පැහැදිලි කළ ඇමෙරිකානු තානාපතිනි,මිෂෙල් සිසොන් යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට නිවාස සැපයීමේ කඩිනම් වැඩ පිළිවෙලක් මෙන් ම , එම වැසියන්ගේ පෝෂණය,සනීපාරක්ෂක පහසුකම්,අධ්‍යාපන සහ සංස්කෘතික තත්වයන් නංවාලීමට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් උපකාර ලැබිය යුතු බව මහ ඇමතිවරයා අවධාරණයෙන් කියා සිටි බවයි සඳහන් කළේ.

සමුළුවට ආරාධනා නැහැ

මහ ඇමති විග්නේශ්වරන් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්,උතුරු පළාත සංවර්ධනයට අවශ්‍ය ආධාර තමා එක්සත් ජනපද තානාපතිවරියගෙන් ඉල්ලා සිටි බවයි කියා සිටියේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගී වන්නේදැයි මාධ්‍යවේදියෙක් මහ ඇමති සී.වී.විග්නේශ්වරන්ගෙන් විමසූ විට ඔහුගේ පිළිතුර වුනේ,තමාට ඒ සඳහා තවම ආරාධනයක් ලැබී නැති හෙයින් ඒ පිළිබඳව දැනට කිසිදු පිළිතුරක් දිය නොහැකි බවයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.