ඉන්දුනීසියාවෙන් ගෘහ සේවිකාවන් බඳවා ගැනීමට එරෙහි පණතක්

27 ඔක්තෝබර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 12:46 GMT

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර රැකියා මධ්‍යස්ථානායක කාන්තාවෝ පිරිසක් චීන භාෂාව උගනිමින් සිටින්නේ තායිවානයේ ගෘහ සේවයට යාමේ බලාපොරොත්තුවෙන්.

මේ බොහෝ කාන්තාවන්ට අගනුවර සම්පූර්ණයෙන්ම ආගන්තුකයි. ඈත දුර බැහැර පළාත්වල සිට අගනුවරට පැමිණ නොදන්නා භාෂාවක් ද උගෙන, ගෘහ සේවය සඳහා තායිවානයට යාමට ඔවුන් සැරසෙන්නේ සිය මවු බිමේදී රැකියාවක් සොයා ගැනීම ඉතාමත් දුෂ්කර නිසාවෙන්.

මේ තරුණියන් අතර සිටින විසි එක් හැවිරිදි සුන්දරීට ලැබී තිබෙන රැකියාව, වයෝවෘද්ධ රෝගීන් රැක බලා ගැනීම.

Mandarin class in Jakartha
මේ කාන්තාවන් චීන භාෂාව හදාරන්නේ තායිවානයේ සේවයට යාමේ බලාපොරොත්තුවෙන්

මින් පෙර කිසි දිනෙක දැක නැති රුධිර පීඩන මාපකයක් භාවිතා කරන්නේ කෙලෙසද යන්න ඇයට ඉගෙන ගැනීමට සිදු වී තිබෙන්නේ අලුත් රැකියාව වෙනුවෙන්.

"ලෙඩ්ඩු බලා ගන්නත් මම කැමතියි. ඒ වගේම ජීවත්වෙන්න රස්සාවකුත් ඕනේ," යනුවෙන් ඇය කියා සිටියේ ජකර්තා නුවර සිටින බීබීසී වාර්තාකාරිය, කරිෂ්මා වශ්වානි එහි ගිය අවස්ථාවේ.

"මොකද මේ රටේ වැඩ කරලා ලැබෙන පඩියෙන් මටයි මගේ පවුලේ අයටයි ජීවත්වෙන්න බෑ. ඒ පඩිය අරගෙන අම්මල, තාත්තලට ඕන කිසිම දෙයක් අරගෙන දෙන්න විදියක් නෑ. අම්මලට ජීවත්වෙන්න ගෙයක් හදල දෙන්න ඕනේ, මගේ මල්ලිට ඉස්කෝලේ යන්න වියදම් ඕනේ. ඒත් මේ රටේ ඉඳල ඒ කිසි දෙයක් කරන්න විදියක් නෑ."

අවදානම් රැකියාවක්

ඒත් ඒ බලාපොරොත්තුව ඉටු කර ගැනීමට නම් ඇය මේ පන්ති හමාරයේ පැවැත්වෙන විභාගයෙන් සමත් විය යුතුයි.

ගෘහ සේවිකාවක ලෙසින් විදේශයක සේවය කිරීම බොහෝ විට අවදානම් සහගත රැකියාවක්. බොහෝ ඉන්දුනීසියානු කාන්තාවන් මෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපීය රටවල කාන්තාවන්ද විදේශීය හාම්පුතුන්ගේ අතවරයට ලක් වූ අවස්ථා පිළිබඳ උදාහරණ බහුලයි.

2017 න් පසුව ඉන්දුනීසියානු කාන්තාවන් ගෘහ සේවය සඳහා විදේශගත වීම දුෂ්කර කිරීමේ සැලසුමක් පිළිබඳව ඉන්දුනීසියාවේ පාර්ලිමේන්තුව මේ දිනවල සලකා බලමින් සිටින්නේ මේ තත්වය යටතේයි.

අදාළ පණත් කෙටුම්පත මගින් රැකියා පතමින් කාන්තාවන් විදේශගත වීම සම්පූර්ණයෙන්ම තහනම් නොකරන නමුත් ඉන්දුනීසියාවෙන් කාන්තාවන් බඳවා ගැනීම විදේශීය හාම්පුතුන්ට දුෂ්කර කිරීම එහි අරමුණයි.

"අපි ගෘහ සේවිකාවන් ආරක්ෂා කළ යුතුයි. මේ බොහෝ කාන්තාවන්ට හාම්පුතාලා පඩි ගෙවන්නේ නෑ. ඔවුන්ට අතවර කරනවා, රෑ දවල් වැඩ කලාට අතිකාල ගෙවීමක් නෑ," ආණ්ඩුවේ ව්‍යායාමයේ අරමුණ පහදන මානව සම්පත් අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය රෙයිනා උස්මාන් ඒ.

අලුත් පණතක්

"ඒ නිසා මේ කාන්තාවන්ගේ ආරක්ෂාව සලසන්නේ කොහොමද කියන එකත් අපේ වගකීමක්. අනික අම්මල වැඩට ගියාම මේ රටේ දාල යන දරුවන්ට මොකද වෙන්නේ? සමහර දරුවෝ අවුරුදු දහයකින් විතර අම්මව දැකල නෑ."

Indonesian maids
'මේ රටේ වැඩ කරලා ලැබෙන පඩියෙන් මටයි මගේ පවුලේ අයටයි ජීවත්වෙන්න බෑ'

ඉන්දුනීසියානු ආණ්ඩුවේ අලුත් වැඩ පිළිවෙලේ අරමුණ යහපත් විය හැකි වුවත්, ඔවුන් ආරක්ෂා කිරීමට උත්සාහ දරන පිරිසටම එයින් බැට කන්නට සිදු විය හැකි බවයි, අගනුවර අවට දිළිඳු පැල්පත්වල සංචාරයක යෙදුන බීබීසී වාර්තාකාරිය කරිස්මා වශ්වානිට දැක ගන්නට ලැබුනේ.

මුළු පලාතම මුඩුක්කුවලින් වැසී ගිහින්. පළාතේ යමක් කමක් ඇති කෙනෙක් වෙසෙන පාටක් දකින්නට නැහැ. ගමට ලඟා වීම සඳහා තිබෙන්නේත් යතුරු පැදිවලට පමණක් ගමන් කළ හැකි ඉතා පටු ගුරු පාරක්.

සිය මුළු ජීවිතයම ගෘහ සේවිකාවක ලෙසින් සේවය කළ සුන්දරීගේ අම්මා, ඉබු පුජියාති දියණිය තමන්ගෙන් ඈත් වීම ගැන දුක් වන අතර, සුන්දරීට අත් විඳීමට සිදු විය හැකි ගැහැට ගැනත් හොඳින්ම දන්නවා.

"මගේ දරුවෝ ඉන්න වෙලාවට මම කිසිම දුකක් වේදනාවක් පෙන්නන්නේ නැහැ. ඒත් මම හැමදාම හදවතින් අඬනවා," මව පවසන්නේ හැඬුම්බරව.

"හොඳට වැඩ කරලා හාම්පුතාගේ හිත දිනා ගන්නේ කොහොම ද කියල මම සුන්දරීට කියල දුන්න. හැම වෙලාවෙම හැමෝටම උදවු කරන්න එයාට සිද්ද වේවි. එයාට හොඳ හාම්පුතෙක් හම්බ වේවි කියල මම බලාපොරොත්තු වෙනවා."

සුන්දරී ගේ ගමේ වෙසෙන කුඩා දැරියන් බොහෝ දෙනාගේ බලාපොරොත්තුව දොස්තරවරියක හෝ ගුරුවරියක් වීම. නිසි අහරක් නැතිව, අධ්‍යාපනයක් නැතිව ඒ බලාපොරොත්තු බොහෝ විට සිහිනයක්ම විය හැකි බව ඔවුන්ගේ මුදා මනසට වැටහෙන්නේ නැහැ.

රැකියා සොයා විදේශගත වන ලක්ෂ පණහකට කාන්තාවන් ආරක්ෂා කිරීමට ආණ්ඩුවේ නව නීති විධිවිධාන එක්තරා උපකාරයක් විය හැකියි.

එහෙත් දිනපතාම රැකියා වෙළඳපොලට එක්වන මේ දැරියන් වැනි දැරියන්ට නිසි වේතනයක් සහිත රැකියා සිය රටේදීම සම්පාදනය කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් සමත් වේවිද යන්න අනාගතයට භාර ප්‍රශ්නයක්.

කරිෂ්මා වශ්වානි ගේ වාර්තාවක් සිංහලට නගා ඉදිරිපත් කිරීම, සරෝජ් පතිරණ